ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Tuesday, December 20, 2011

පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව සටන් වැදීමට අපි සූදානම්

කැඳවුම්කරු - සංජීව බණ්ඩාර
     ආණ්ඩුව විසින් එළඹෙන ජනවාරි මසදී ගෙන ඒමට යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පැරදවීමට රට පුරා සිසු උද්ඝෝෂණ පවත්වන බවත් කුමන දුෂ්කර තත්වයක් යටතේ වුවද එම පනත සම්මත කිරීමට ඉඩ නොදෙන බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
 

    19 සඳුදා සවස කොළඹ නිපොන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සොයුරා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු මෙසේද පැවසීය.

      ‘‘එළඹෙන්න නියමිත 2012 වර්ෂය ඉතාමත් තීරණාත්මක වසරක් විදියට ඉතිහාසයට එක්වේවි. මොකද 1943 බොහෝ දුෂ්කරතා මැද මන්ත‍්‍රණ සභාවේ ආණ්ඩු පක්‍ෂ, විපක්‍ෂ මන්තී‍්‍රවරුන්ගේ විරෝධතා මැද්දෙ නිදහස් අධ්‍යාපන පනත සම්මත කළා වගේම, 2012 අවුරුද්ද ඒ නිදහස් අධ්‍යාපනය වනසන අණපනත් සම්මත කිරීම සඳහා ආණ්ඩු පක්‍ෂ, විපක්‍ෂ මන්තී‍්‍රවරු සියල්ලන් එක්වන වසරක් වෙනවා. ඒ නිසා තමයි 2012 ඓතිහාසික වසරක් වෙන්නෙ. හැබැයි ගැටලූව තියෙන්නෙ 2012 ඉතිහාසයෙ ලියවෙන්නෙ එස්.බී.ට සහ ආණ්ඩුවට ඕන විදියටද, එහෙම නැත්නම් ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු මේ රටේ ප‍්‍රගතිශීලී බලවේගවලට ඕන විදියටද කියන එකයි.
 
     පහුගිය කාලෙ ශිෂ්‍ය ව්‍යාපාරය වෙත ධවල මර්දනයක් මුදා හැරල, ආණ්ඩුව සූදානම් වුණේ මෙන්න මේ අවසාන මැච් එකට කියන එක පැහැදිලියි. මීට කලින් තිබුණෙ ඔක්කොම පෙරහුරු තරඟ, එන්න නියමිත අවසාන තර‍‍ඟෙ. අපි කියනවා ආණ්ඩුවට පනත ගෙන්න-අපි සූදානම් එය පරද්දන සටනට. 

     මේ හදන්නෙ 99%ක් ජනතාවට උපාධි ගන්න තිබුණ අයිතියට වැට බඳින එක. මොකද මාලඹේ උපාධි කඩේ වෛද්‍ය උපාධිය ලක්‍ෂ 65යි. මාසෙකට ගාස්තුව විතරක් ලක්‍ෂය පනිනවා. අපි අහනව මේ රටේ ජනගහනයෙන් කීයෙන් කීදෙනාට තමන්ගෙ දරුවන්ට මාසෙකට ලක්‍ෂයක් සරසවි අධ්‍යාපනය සඳහා වෙන්කරන්න පුළුවන් කියලා. ජනගහනයෙන් 1%කටවත් බෑ. ඒක තමයි ඇත්ත. මේ පනත සම්මත වුණොත් ගොවි කම්කරු පීඩිත කොටස්වලට විතරක් නෙවෙයි මැද පන්තියේ සාතිශය බහුතරයකට පවා සරසවියකට පස් පාගන්නවත් ලැබෙන එකක් නෑ. ඒ නිසා මේ නිදහස් අධ්‍යාපනය වනසන පනත පරාජය කළ යුතුයි. නිදහස් අධ්‍යාපන මිනී පෙට්ටියේ සතපවලා අන්තිම ඇනෙත් ගහන්න හදන මේ උත්සාහය පරාජය කළ යුතුයි. ඒ වෙනුවෙන් සටන් කරන්න සූදානමින් සියලූ සරසවි සිසුන් අද පෙළගැහිල ඉන්නවා. ඒ විරෝධය හෙට දවසෙ නගර පුරා පිටාර ගලන්න පටන් ගනීවි. එහි පළමු පියවර 21 වෙනිදා පේරාදෙණියෙන් පටන් අරගෙන කොළඹ දක්වා පයින් එනවා. අපි මේ රටේ දෙමාපියන්ගෙන්, ප‍්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලනව, වීදියේ ඇවිලෙන මේ සටනත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා පාර්ලිමේන්තුවෙ ඔලූගෙඩි වලින් මේක සම්මත කළත්, රටේදි, ජනතාව ඉදිරිපිට දි මෙය සම්මත වෙන්න ඉඩ නෑ කියලා. කුමන දුෂ්කර කොන්දේසියක් යටතේ වුණත්, මේ පනත් පරාජය කරන තුරු අපි සටන් වදිනවා."
එසේම ඔහු මෙහිදී උසස්පෙළ ප‍්‍රතිඵල ප‍්‍රමාදවීම පිළිබඳව ද අදහස් දැක්වීය.
 
     "මේක ආණ්ඩුවට ප‍්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නැති කමේ ගැටලූවයි. ආණ්ඩුව මේ පාර විභාගයේ පැරණි සහ අලූත් විෂය නිර්දේශයන් දෙක යටතේම පැවැත්වෙන බව කල්තියාම දැනගෙන හිටියා. ඒ නිසා දැන් පත් කරන මේ කමිටු පත්කරන්න තිබුණෙ අද නෙවෙයි මාස කිහිපයකට කලින්.ඇමති කිව්ව අද ප‍්‍රතිඵල නිකුත් කරනවා කියල, හැබැයි තාමත් නිකුත් කරල නෑ. නිකුත් කරන්නත් බෑ කියල අපි දන්නවා. ඒ වගේම මේ කඩිමුඩි වැඩ නිසා ප‍්‍රමාද විතරක් නෙවෙයි, ප‍්‍රතිඵලවල නිරවද්‍යතාවය ගැන සම්බන්ධ ගැටලූත් මතුවෙන්න ඉඩ තියෙනවා. මොකද විභාග දෙපාර්තමේන්තුවට කොහොමත් තියෙන්නෙ විභාග අවුල් කරපු අපකීර්තිමත් ඉතිහාසයක් වන නිසා. රටට ආශ්චර්යය ගෙන්න හදන ආණ්ඩුව, රටේ ජාතියෙ ඉරණම තීරණය කරන ජාතික අධ්‍යාපනය විභාග ගැන දක්වන සැලකිල්ල තමයි මේ තුළින් පෙන්නුම් කරන්නෙ. අවසාන වශයෙන් අප ආණ්ඩුවට අවධාරණය කොට සිටිනවා ප‍්‍රතිඵල ඉක්මනින් නිකුත් කළ යුතුයි. ඒ වගේම නිකුත් කරන විභාග ප‍්‍රතිඵලවල විනිවිදභාවය, නිරවද්‍යතාවය ආරක්‍ෂා විය යුතු යි. අපි ඒ දෙස අවදියෙන් බලාගෙන ඉන්නවා."

කැඳවුම්කරු - සංජීව බණ්ඩාර
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි