ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Wednesday, November 3, 2010

ඊළඟ කැබිනට් සංශෝධනයෙන් එස් බී ඉවතට?

ඊළඟ කැබිනට් සංශෝධනයෙන් එස් බී ඉවතට? 

    මෙම නොවැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිතව ඇති කැබිනට් මණ්ඩල සංශෝධනයෙන්දී එස් බී දිසානායක මහතා උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් අයකු පත් කිරීම කෙරෙහි මහින්ද රාජපක්ෂ මහතා අවධානය යොමු කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. එස් බී දිසානායක මහතා ඉවත් කිරීමෙන් පසුව එම අමාත්‍ය ධුරයට හිටපු අධ්‍යාපන ඇමතිවරයකු පත් කිරීම සුදුසු බවද ආණ්ඩුවේ ඉහළ බලධාරීන්ගේ අදහස් වී ඇතැයිද වාර්තා වේ.

    එස් බී දිසානායක මහතා ඉවත් කිරීමේ මූලික පියවර මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති අතර ඒ අනුව ආණ්ඩුවට හිතවත් ශිෂ්‍ය සංගම් හා සන්ධානයේ දේශපාලන පක්ෂ ඔහු ඉලක්ක කර ගනිමින් පහර දීම ආරම්භ කර තිබේ. පසුගිය දින දෙක තුළදී ආණ්ඩුව විසින් පිහිටුවන ලද ශිෂ්‍ය සංවිධාන ගණනාවක් එස් බී දිසානායක මහතා දෝෂ දර්ශනයට ලක් කරමින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූයේ එම වුවමනාව අනුව බවද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

     අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළ කවර බාධා කිරීම් මැද වුවත් දියත් කරන බව ආණ්ඩුව අවධාරණය කර ඇත. ඒ අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට කැමති බහුජාතික සමාගම් ඇතුළු සමාගම් කිහිපයක් සමගම සාකච්ඡා කර ඇතැයිද වාර්තා වේ. එම සමාගම්වලින් ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිප දෙනකුම 'සන්තෝසම්' ලබා ඇතැයිද පැවසේ.

     ජනාධිපතිවරයා විසින් එස් බී දිසානායක මහතා උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස පත් කරන ලද්දේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විනාශ කොට, සිසු විරෝධය මර්දනය කිරීමේ මූලික ක්‍රියාමාර්ග ගැනීම සඳහා බව පෙන්වා දෙන ආණ්ඩුවේ ආරංචි මාර්ග අනාවරණය කරන්නේ, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට යාමේදී ආණ්ඩුවට එල්ල වී ඇති සරසවි සිසු හා ජනතා විරෝධය තවදුරටත් උත්සන්න වුවහොත් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළට එය බාධාවක් විය හැකි බවයි.

     එම නිසා වර්තමානයේ සරසවි පද්ධතිය තුළ ඇති වී තිබෙන වාතාවරණය එස් බී දිසානායක නමැති 'හිතුවක්කාර ඇමතිවරයාගේ පුද්ගල' දෝෂයක් බව පෙන්වා ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් එල්ල වී ඇති විරෝධය දිසානායක මහතා වෙත යොමු කිරීම නව උපක්‍රමය වී තිබේ. ජනතා විරෝධයේ ඉලක්කය බවට එස් බී දිසානායක මහතා පත් කිරීමෙන් අනතුරුව 'සංවේදී නායකයා' ඔහු උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කොට, 'සියලු ප්‍රශ්න නිරාකරණය කරනු ඇති' බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

     එස් බී දිසානායක මහතා හදිසියේ ඉවත් කිරීම මගින් ජනතා විරෝධය තාවකාලිකව හෝ යටපත් වනු ඇතැයිද, ශිෂ්‍ය විරෝධතා අවුල් වනු ඇතැයිද විශ්වාස කරන ආණ්ඩුවේ ප්‍රධානීන්න නව ඇමතිවරයා පෙරටු කොට ගනිමින් 'මානුෂික මුහුණුවරක්' යටතේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළ දියත් කරනු ඇති බවද වාර්තා වේ.

     ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී ආණ්ඩුව විසින් පිහිටුවන ලද ශිෂ්‍ය සංවිධාන, ආණ්ඩුවේ දේශපාලන පක්ෂ, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හා ආණ්ඩුවට සම්බන්ධ පිරිස් තවදුරටත් එස් බී දිසානායක මහතා විවේචනය කරනු ඇතැයිද විශ්වවිද්‍යාලවල උද්ගතව ඇති අර්බුදයට වගකිව යුත්තේ ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා නොවන අතර ඊට වගකිව යුත්තේ එස් බී දිසානායක මහතා පමණකැයි පවසනු ඇතැයිද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

2 comments:

  1. අනාගතය පිළිබදව නිර්මානය කරණලද විහිලූ....

    ReplyDelete
  2. සිහින ලෝකයක් මවාගෙන වැඩ කරන ජේවිපී ගැත්තෝ.. පවු වැඩේ..

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි