ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Wednesday, November 3, 2010

සරසවි සිසු දෙමව්පියන් සංගමයේ මාධ්‍ය නිවේදනය - අපේ දරුවන් සටන් වදින්නේ මතු පරපුරේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන්

අපේ දරුවන් සටන් වදින්නේ මතු පරපුරේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් - සරසවි සිසු දෙමව්පියන් පවසයි. 

     තම දරුවන් අරගල කරන්නේ මතු පරපුරේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් බවත් ඔවුන්ගේ අරගලය සාධාරණ ඉල්ලීම් මත පදනම්ව ඇති බවත් සරසවි සිසුන්ගේ දෙමාපියන් පවසයි. සරසවි සිසු දෙමාපියන්ගේ සංගමය විසින් අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ විය. එහිදී අදහස් දැක්වූ දෙමාපියන් මෙසේ පැවසූහ:

     පසුගිය දිනවල දෙමාපියන් කියා පිරිසක් උද්ඝෝෂණය කළා. ඒ සරසවි ශිෂ්‍යයන්ගේ දෙමව්පියන් නෙමෙයි. අපි තමයි සරසවි සිසුන්ගේ දෙමව්පියෝ. දෙමව්පියෝ කියා උද්ඝෝෂණය කරපු අය ශිෂ්‍යයින්ට කාලකන්නි කියලා, අවජාතකයෝ කියලා කිව්වා. සාමාන්‍යයෙන් අම්මා - තාත්තා කෙනෙක් දරුවන්ට ඒ වචනවලින් කතා කරන්නේ නැහැ. ඒ නිසා අඩුම තරමේ ඒ කතා කරපු අයට දරුවොවත් නැති බව පැහැදිලියි. අපි අපේ දරුවෝ ගැන දන්නවා. ඒ අය කුඩා කාලයේදීවත් රටේ නීතියෙන් දඩුවම් ලබන වැරදි කරලා නැහැ. අපි දරුවන්ට ඉගැන්නුවා. ඒ වගේම රටේ යහපත් මිනිස්සු ලෙස ඉන්නත් ඉගැන්නුවා. සරසවි ජීවිතයේ ගොඩක් ප්‍රශ්න තියනවා කියලා අපේ දරුවො අපට කියල තියනව. නේවාසිකාගාර ප්‍රශ්න, ආචාර්යවරුන්ගේ ප්‍රශ්න, විභාග ප්‍රශ්න, මහපොල ප්‍රශ්න, වගේ දේවල් දරුවෝ අපිත් එක්ක කතා කරලා තියෙනවා. කැම්පස් එකට ගිය ළමයා ගෙදර එද්දී ඇට කටු පැදීලා එන්නේ. ඒකෙන්ම තේරෙනවා කොයිතරම් දුකක් විශ්වවිද්‍යාල ජීවිතයේ විදිනවාද කියා. දරුවෝ උද්ඝෝෂණය කරන්නේ මේ ප්‍රශ්නවලට. අපි හිතනවා එහෙම කරන එක දරුවන්ගේ පැත්තෙන් සාධාරණයි කියලා. අපේ දරුවන්ට අද විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබී තිබෙනවා. අපි හිතනවා දෙමව්පියෝ විදිහට ඊළග පරපුරටත් මේ අධ්‍යාපනය රැකෙන්න ඕන කියලා. අපි දන්නවා අපේ දරුවන් අරගල කරන්නේ ඔවුන් අද ලබන අධ්‍යාපනය ඊළග පරපුරටත් හිමිකර දෙන්න. ඔවුන්ට පහරදීලා ඔලු පලලා පන්ති තහනම් කරලා හිර ගෙවල්වල දාන එක වැරදියි නේද? අපේ දරුවෝ කුඩුකාරයෝද?, මිනීමරුවෝද?. මෙම මාධ්‍ය හමුවට එන්. සැම්සන්, ප්‍රියන්ති කෝදාගොඩ, ලක්ෂ්මන් සිරිවර්දන, එස් ලියනගේ සහ ජසින්තා ලිඩ්වින් යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.


 සරසවි සිසු දෙමව්පියන් සංගමය

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි