ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Thursday, June 28, 2012

මාලබේ වෛද්‍ය විද්‍යාලය රටට විනයක්‌ - ඇමැති වාසුදේව නානායක්‌කාර

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමට පක්‌ෂවත් විරුද්ධවත් මේ වනවිට රටේ කතාබහට ලක්‌ව ඇත. ඒ පිළිබඳව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව කි.

ප්‍රශ්නය - ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම ගැන දරන මතය කුමක්‌ද?

පිළිතුර - අධ්‍යාපනය පළමුවෙන්ම නිදහස්‌ අධ්‍යාපනයක්‌ විය යුතුයි. හැකියාව ඇති ළමුන්ට ඕනෑම විට නොමිලේ අධ්‍යාපනය ලැබීමට හැකිවිය යුතුයි. මුදල් නැහැ කියා අධ්‍යාපනය අහිමි වෙනවා නම් ඒ තුච්ඡ සමාජයක්‌. මට ඕන ජනතාවාදී සමාජයක්‌. සල්ලි නැති වුණත් ඉගෙන ගැනීමට හැකිවිය යුතුයි. ඒ ප්‍රතිපත්තියේ ඉඳලයි මම මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ.


නිදහස්‌ සෞඛ්‍යය වගේම නිදහස්‌ අධ්‍යාපනයත් තිබිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය මුදල් රජය සපයා ගත යුතුයි. එක පැත්තකින් නිදහස්‌ සෞඛ්‍යය හා නිදහස්‌ අධ්‍යාපනය කියා අරමුදල් ක්‍රමදෙකක්‌ ඇති කරගත හැකියි. ඒ වගේම රජයේ බදු ආදායම වැඩිකර ගැනීම අවශ්‍යයි. ආදායම් ඇති අයගෙන් බදු ආදායමක්‌ ගත යුතුයි. මේ මගින් අරමුදල් ක්‍රම තරකර ගත යුතුයි. මේ කාරණා දෙක අපට කිසිසේත්ම බැහැ ලාභ ලබන ව්‍යාපාරිකයන්ට ලබා දෙන්න. ඔවුන්ට දුන්නොත් මේ අංශ දෙකේ ඇතිවන ස්‌වභාවික පරිහානියත් තේරුම් ගන්න අවශ්‍යයි. වැඩිම ලාභ ගන්න මේ ආයතන ඇති කරන්න ඉඩ දුන්නොත් අපේ ඉන්න හොඳම ගුරුවරුන්, දක්‍ෂ ගුරුවරුන් වැඩි වැටුප්වලට ඒවට යයි. එවිට බාල වර්ගයේ ආචාර්යවරුන් බඳවා ගන්න රජයේ විශ්ව විද්‍යාලවලට සිදුවේවි. ඒ වගේම මට්‌ටම් දෙකක අධ්‍යාපන ක්‍රම තුනක්‌ ඇති වෙනවා. මෙහෙම වුණොත් සමාජය ගිනි ගන්නවා.

ප්‍රශ්නය - පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමට ඔබ එකඟ නැත්ද?

පිළිතුර - කිසිසේත් නැහැ. සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

ප්‍රශ්නය - දැනටමත් පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටුවා තිබෙනවා නේද?

පිළිතුර - දැනට උපාධි හා ඩිප්ලෝමා දීම සිදු කරනවා. ඒවා නතර කළ යුතුයි කියා මා කියන්නේ නැහැ. ඒවා පවතිද්දී අපේ දරු පරපුරට ඉංජිනේරු, වාණිජ්‍ය, ගණකාධිකාරී අධ්‍යාපනය ලැබීමට නොමිලේ ඇති ඉඩකඩ අපි පුළුල් කළ යුතුයි. මේවා ජනගහනයත්a සමග පුළුල් නොවීම තමයි මේ ප්‍රශ්නවලට මුල. රජයේ ආදායමෙන් සියයට 6 ක්‌ පමණ නිදහස්‌ අධ්‍යාපනයට වෙන් කළ යුතුයි. මෙය වියදමක්‌ නොව ආයෝජනයක්‌. අපට තියෙන සමාජ, ආර්ථික හේතුවලට අවශ්‍ය දැනුම ඇති හා සෞඛ්‍ය සම්පන්න මිනිසුන් බිහි කළ යුතුයි. මිනිසෙකුට සල්ලි නැහැ කියා මියෑදෙන්න දෙන්න පුළුවන්ද? සල්ලි නැහැ කියලා දරුවකුට කිරි කඳුළක්‌ නැතිව ඉන්න දෙන්න පුළුවන්ද? අද මන්දපෝෂණය ඉහළයි ලංකාවේ.

ප්‍රශ්නය - නමුත් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම තුළින් පිටරටට ගලා යන මුදල් නැවැත්වීමටත් ලංකාවට වැඩි විනිමය ප්‍රමාණයක්‌ ලබාගත හැකි බවටත්.

පිළිතුර - පිරටට ගලා ගෙන යන විදේශ විනිමය වෙනත් විවිධ මාර්ගවලින් ඒවා නැවැත්විය යුතුයි. එමගින් මේක පිරිමහ ගන්න පුළුවන්. ලංකාවෙන් පිටරට යවන බඩුවල ආදායම් නියමාකාරයෙන් ලංකාවට ලබාගත යුතුයි. ලංකාවෙන් රැකියාවට ගිය උගත් පිරිසෙන් සියයට 19 ක්‌ ආපසු එන්නේ නැහැ කියා සමීක්‍ෂණයකින් හෙළිවී තිබෙනවා. ඉන්දියාවෙන් වෙනත් රටවලට යවන බඩු වල ආදායම් හය මාසයක්‌ ඇතුළත හැම සතයක්‌ම ගෙන්වා ගන්නවා. අපේ එවැනි ක්‍රමයක්‌ නැහැ. ඒවා නිවැරදි කර විදේශ මුදල් සියල්ල ගෙන්වා එමගින් මුදල් ඉපයිය යුතුයි.

විදේශ විනිමය සංරක්‍ෂණය කිරීමේ ක්‍රමයක්‌ ලංකාවේ නැහැ. අනෙක පිටරට පිරිස්‌ ලංකාවට එන්නේ සංචාරකයන් ලෙසයි. එසේත් නැතිනම් දේශීය වෙදකම ලබා ගැනීමට. ඒ නිසා එම ක්‍ෂේත්‍ර නංවා විදේශ විනිමය ඉපයිය යුතුයි. අධ්‍යාපනය අතින් තරගකාරී වෙන්න බැහැ. ලංකාවේ අයට අපි හොඳම අධ්‍යාපනය දී ලංකාවේ පමණක්‌ නොව ලොව වෙනත් ඕනෑම රටකට ගොස්‌ රැකියාවක්‌ කිරීමට හැකි පිරිසක්‌ ඇති කළ යුතුයි.

ඔක්‌කොටම ඉහළ අධ්‍යාපනය දෙන්න බැහැ. උසස්‌ අධ්‍යාපනයට අමතරව තෘතීයික අධ්‍යාපනය විධිමත් කර දැනුම දිය යුතුයි. ලෝකයේ ලොකු ඉල්ලුමක්‌ අපේ උගතුන්ට තියෙනවා. හොඳ ඉංජිනේරුවන් බිහි කළ යුතුයි.

ප්‍ර්‍රශ්නය - විශ්වවිද්‍යාලවලට සමත් වන හැමෝටම එහි යැමට බැහැ. පහසුකම් නැහැ. එවැනි අයට අධ්‍යාපනයක්‌ ලැබීමට තැනක්‌ තිබිය යුතුයි නේද?

පිළිතුර - ඒ අයට බාහිර උපාධි කරන්න පුළුවන්. නැතිනම් අනුබද්ධ ආයතනවලට යන්න පුළුවන්. සල්ලි තියෙන අයට හැකි නම් විදේශ අධ්‍යාපනයක්‌ ලබන්න පුළුවන්. හැබැයි වෛද්‍ය. ඉංජිනේරු වෘත්තීන්ට මේවා සමාන කරන්න බැහැ. වෛද්‍ය විද්‍යාල දාන්න දෙන්නත් බැහැ. වෛද්‍ය, ඉංජිනේරු, ගණිත තොරතුරු තාක්‌ෂණවලට හොඳම අයම තෝරගෙන ඉගැන්විය යුතුයි. අනෙක්‌ අයට වෘත්තීය හා ශිල්පීය දැනුම දී ඉහළට පැමිණීමට ඉඩ දිය යුතුයි.

ප්‍රශ්නය - අද ඔබ කියන මේ ක්‍රමයන් අනුව අධ්‍යාපනය ලැබීමට නිවැරදි සැලැස්‌මක්‌ තියෙනවාද?

පිළිතුර - සැලැස්‌මක්‌ නැතිව යන මෝඩ ක්‍රමයක්‌ නිසයි මේ හැම ප්‍රශ්නයක්‌ම. සැලැස්‌මක්‌ තියෙනවා නම් ඊට වුවමනා ප්‍රමාණය ගන්නවා. එහෙනම් විශ්වවිද්‍යාලයෙන් කෙළින්ම රැකියාවට යනවා. අවශ්‍ය පුහුණුව උවමනා ප්‍රමාණයට දිය හැකියි. අධ්‍යාපනයේ සමාජ, ආර්ථික සැලසුමක්‌ තිබිය යුතුයි. අද තියෙන ලිබරල් ආර්ථික ක්‍රමයේ එහෙම නෑ. පුළුවන් අය ඉගෙන ගන්නත් පුළුවන් අය රැකියා කරන්නත් තමයි මෙයින් කරන්නේ.

සමාජ, ආර්ථික ක්‍රමය රාජ්‍ය අංශයට පමණක්‌ නොව පෞද්ගලික අංශවලටත් අවශ්‍ය ශිල්පීන්, බුද්ධිමතුන් බිහි කරනවා. සුදුසුකම් අනුව තෝරා ගැනීම කළ යුතුයි. එය ජනතාවාදී ක්‍රමයයි. දැන් තියෙන්නේa ධනපති ක්‍රමයක්‌. සල්ලි තියෙන අයට ඉගෙන ගන්න පුළුවන්, නැති එකාට මුකුත් නැහැ. මෙය සමාජ විරෝධීයි.

ප්‍රශ්නය - අද රටේ නිදහස්‌ අධ්‍යාපනයක්‌, නිදහස්‌ සෞඛ්‍ය ක්‍රමයක්‌ තියෙනවාද?

පිළිතුර - තවමත් තියෙනවා. මේ තරම් නොමිලේ දෙන රටක්‌ ලෝකයේ කොහේවත් නැහැ.

ප්‍රශ්නය - නමුත් මේ ක්‍ෂේත්‍රවලට වෙන් කරන මුදල් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙනවා නේද?

පිළිතුර - ඔව්. නිදහස්‌ අධ්‍යාපනයේ වටිනාකමත් ටික ටික අඩුවෙනවා. මේවායේ ඇති කළ යුතු නඩත්තු හා වර්ධනයට අවශ්‍ය මුදල් වෙන් වෙන්නේ නැහැ. නමුත් ආසියාවේ අනෙකුත් රටවල් සමග සැසඳීමේදී අපේ රටේ හොඳයි. අපි කියන්නේ දැන් තියෙන එක රැක ගනිමු. මුදල් අඩුකර සල්ලි තියෙන අයට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ගිහින් ඉගෙන ගන්න කරන තල්ලුව නතර කරමු. මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ කතාව මේ නිදහසේ හරස්‌ වේල්ල. මෙතනින් එහාට යන්න දෙන්න එපා.

ප්‍රශ්නය - ඔබ මේ සිටින මතයට ආණ්‌ඩුවේ තවත් පිරිස්‌ ඉන්නවාද?

පිළිතුර - ඉන්නවා. ගොඩක්‌ ඉන්නවා. කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ඇමැතිවරයෙකුත් මේ විශ්ව විද්‍යාලයට විරුද්ධව පසුගියදා පැවැති මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී කතා කළා. මන්ත්‍රීවරුත් ඉන්නවා.

මේ වෛද්‍ය විද්‍යාලය ඇති කිරීමෙන් පසුව අපේ රටේ දරුවන් දෙසීයකටත් ඉගෙනීමට ඉඩ දෙනවාලු. ඒවා බොරු. අපිට දෙන ඇම. මේක ව්‍යාපාරික පැත්තට හරවන්නයි උත්සහ කරන්නේ එහෙම වුණොත් "ළදරුවකුට ගෙදර මුදල් නැතත් කිරි කඳුළක්‌ ඕනේ. රෝගියෙක්‌ වුවත් මුදල් නැතත් ප්‍රතිකාර සත්කාර ඕනේ. ඉගෙන ගන්න පුළුවන් දරුවට මුදල් නැතත් ඉගෙනීම අවශ්‍යයි. ඒවගේම මේ රටේ හැම පුරවැසියකුටම අයිති ඉඩ කොටසක්‌ ඕනේ" යන ජනතාවාදී සංකල්ප වියෑකී යනවා. මේ සංකල්ප මහින්ද චින්තනයේ තිබෙනවා. මම බලාපොරොත්තු වුණා මහින්ද චින්තනයෙන් එය ක්‍රියාත්මක වේවි කියා. රාජ්‍ය ප්‍රතිපත්තිය මහින්ද චින්තනය කපාගෙන යනවා. අංශ දෙක ටිකෙන් ටික දුරස්‌ වෙනවා.

ප්‍රශ්නය - නමුත් විෂයය භාර ඇමැතිවරයා ප්‍රකාශයක්‌ කළා මේ මාලබේ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමෙන් පසුව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙකක්‌ විවෘත කිරීමට ආයෝජකයන් සූදානමින් සිටින බව.

පිළිතුර - වෛද්‍ය විද්‍යාල සියයක්‌ මේ රටේ පිහිටෙව්වත් අපට වැඩක්‌ නැහැ. අපට තියන ප්‍රශ්නය ලංකාවේ වෛද්‍ය විද්‍යාලයක සුදුසුකම් ලැබීම රජයේ මෙහෙයවීම යටතේ විතරයි සිදුවිය යුත්තේ. පෞද්ගලික අංශයට පුළුවන් තවත් ආයතනවලට අනුබද්ධ වී ක්‍රියා කරන්න. විශ්වවිද්‍යාලවලට යන්න බැරි අයට ශිල්පීය දැනුම පුහුණුව දී රටට ලබා ගත යුතුයි. අද ඉන්න ලොකු ලොක්‌කො ඔක්‌කොම නිදහස්‌ අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය. අපි හැමෝම ඒ නිදහස්‌ අධ්‍යාපනය අනාගත පරපුරටත් රැක දිය යුතුයි. අනාගත පරපුරට මේ නිදහස අහිමි කිරීමට මම විරුද්ධයි. අපට හැකි හැම විරෝධයක්‌ම කරනවා. මහින්ද චින්නයෙන් අද ආණ්‌ඩුව පිට යනවා. මේක වලක්‌වා ගන්න සන්ධානයේ හැමෝම කැපවිය යුතුයි. මතවාද ජයගත යුතුයි.

ප්‍රශ්නය - ආණ්‌ඩුව මේ යන ගමන ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද?

පිළිතුර - නෑ. කොහෙත්ම නැහැ. කොහොමද සෑහීමට පත්වෙන්නේ අධ්‍යාපනයට සෞඛ්‍යයට මුදල් දෙන්නේ නැති නම්, ජීවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩි කරන්නේ නැතිනම්. වැඩිවන ජීවන වියදමට සරිලන දීමනාවක්‌ දීම ගැන මහින්ද චින්තනයෙත් තියෙනවා.

ප්‍රශ්නය - අද ජනතාවට ජීවත්වීමට නොහැකි ලෙස ජීවන වියදම වැඩිවෙලා. වෘත්තීය සමිති නායකයන් ලෙස ඔබලා නිහඬයි නේද?

පිළිතුර - කොහෙත්ම නැහැ. අප පක්‌ෂයත් තවත් වාමාංශික පක්‌ෂත් සමග එකතුවී රජයට ජීවන වියදම් ප්‍රශ්නය ගැන සංදේශයක්‌ දුන්නා. අපිට සම්බන්ධ වෘත්තීය සමිති සංවිධාන එක්‌කරගෙන රජයට බලකිරීමේ උද්ඝෝෂණ ක්‍රියාවලියකටත් යනවා. මේ හැම දෙයක්‌ම කරන්නේ ආණ්‌ඩුව රැකගන්නයි. එහෙම නොවුණොත් ජනතා පදනම නැතිවෙනවා. විරුද්ධවාදීන් එයින් ප්‍රයෝජන ගන්නවා. තදින්ම ජීවන වියදම ගැන පියවරක්‌ ගත යුතුයි.


දිවයින - 2012/06/26 

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි