ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Monday, June 25, 2012

මාළඹේ පිහිටා ඇත්තේ මුදලට උපාධි විකුණන කඩයක් - වෛද්‍ය අසංග වික්‍රමසිංහ

     මාළඹේ ආරම්භ කර ඇති පෞද්ගලික වෛද්‍ය උපාධි කඩය වහාම වසා දමන ලෙසත් තවදුරටත් අප රට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති නොකරන ලෙසටත් රජයට බලකිරීම සඳහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි සංවිධාන සහ විද්වත් එකමුතුව මගින් සංවිධානය කළ ජනතා පෙත්සමක් අත්සන් කිරීමේ ව්‍යාපාරයක් අද (24) උදෑසන 10 ට කොටුව දුම්රිය පොළ අසලින් ආරම්භ විය.

      පෞද්ගලික වෛද්‍යවිද්‍යාලවලට එරෙහි වෛද්‍යවරු සංවිධානය, විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය, ලංකා ගුරු සේවා සංගමය, සමාජවාදී ශිෂ්‍ය සංගමය සහ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවල වෘත්තීය සමිති රාශියක නියෝජිතයින් සහ වෙනත් විද්වතුන් මෙම අවස්තාවට සහභාගීවූහ.

      මෙහිදී අදහස් දැක්වූ ඉහත සංවිධානයේ කැඳවුම්කරු වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ආරම්භයේ සිටම වංචාසහගත ලෙස අරම්භ කරන ලද මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මේ වනවිට අප අරම්භයේදී සඳහන් කළ අකාරයටම, නිවැරදි බඳවාගැනීමේ පටිපාටියක් නැති, සායනික පුහුණුවක් ලබා නොදෙන, මුදලට උපාධි විකුණන කඩයක් බවට පත්වී ඇති බවයි. මේ වනවිට එය වසා නොදැමීමට ඇති එකම හේතුව වර්තමාන රජයේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය පෞද්ගලික අංශයට පැවරීමේ ප්‍රතිපත්තිය පමණක් බවත් එම නිසා රජය කළ යුතු වන්නේ මෙම බාල උපාධි පිළිනොගන්නා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වැනි ආයතන සහ මෙවැනි ජාවාරම්වලට එරෙහි වන අයට අවලාද නැගීම නොව නිදහස් අධ්‍යාපන අයිතිය විනාශකරන, බාල වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවයට එක්කර ජනතාවගේ ජීවිත අනතුරේ හෙළන මෙම උපාධි කඩය වසා දැමීම බවත් ඒ මහතා පැවසීය.

     විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා ද ප්‍රකාශ කළේ රජය වහාම මෙම උපාධි කඩ සම්බන්ධයෙන් තීරණයක් ගතයුතු බවයි.

     ජාතික විද්වත් වෘත්තික සංසදයේ ලේකම් අචාර්ය රොහාන් ප්‍රනාන්දු, ප්‍රවීන කාටූන් ශිල්පී ජේෂ්ඨ කථිකාචාර්ය විනී හෙට්ටිගොඩ, අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසින්හ යන මහත්වරුද මෙම අවස්ථාවට සම්බන්ධ විය.

     පැය දෙකක කාලයක් තුළ 6,400 ක් පමණ පිරිසක් මෙම පෙත්සමට අත්සන් කර තිබූ බවත් ඉදිරියේදී මෙම අත්සන් ගැනීමේ ව්‍යාපාරය සෑම නගරයකම පවැත්වීමට බලාපොරොත්තු වන බවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි සංවිධාන සහ විද්වත් එකමුතුව ප්‍රකාශකර සිටී. එමෙන්ම වෛද්‍යවරුන් ඇතුළු සියලුම වෘතිකයින්ටත්, වෛද්‍ය සිසුන් සහ සියලුම විශ්වවිද්‍යාල සිසුන්ටත් සියලුම ජනතාවටත් මෙම අරගලය සඳහා එකතුවන ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යායාලවලට එරෙහි සංවිධාන සහ විද්වත් එකමුතුව ආරධනාකර සිටී.
 
 

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි