ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Tuesday, April 24, 2012

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කාගේ උවමනාවටද?

     1981 සිට මේ දක්‌වා විවිධ රජයන් විසින් ලංකාව තුළ පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට උත්සාහ ගන්නා ලදී. මෙයින් 1981 දී ආරම්භ කළ උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය හා දැනට මාලඹේ ප්‍රදේශයේ ආරම්භ කර ඇති ආයතනයත් හැරුණු විට අනෙක්‌ ඒවා මූලික අවස්‌ථාවේදීම පරාජය කිරීමට අපේ රටේ ජනතාවට හැකියාව ලැබුණි.

      1981 දී ආරම්භ කළ උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයත්, දැනට ආරම්භ කර ඇති මාළඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයත් (SIATM)අතර ඇති ප්‍රධාන සමානකමක්‌ වන්නේ මේ දෙකටම අනුග්‍රහය ලබාදුන් හා ලබාදෙන ආණ්‌ඩු පාර්ලිමේන්තුව තුළ ඕනෑම පනතක්‌ සම්මත කළ හැකි ආණ්‌ඩු වීමයි. එවකට එය 3/5 ක බලයක්‌ තිබූ එක්‌සත් ජාතික පක්‌ෂ ආණ්‌ඩුව වූ අතර දැන් එය 2/3 ක බලයක්‌ ඇති මහින්ද රාජපක්‌ෂගේ ආණ්‌ඩුවයි. නමුත් මෙහි ඇති භයානක වෙනස වන්නේ එවකට පැවැති ආණ්‌ඩුව අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවට අධ්‍යාපනය විකුණන ආණ්‌ඩුවක්‌ බව ජනතාව හොඳින් තේරුම් ගෙන සිටීමත්, දැන් මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුග්‍රහය දක්‌වන ආණ්‌ඩුව යනු ජනතාව ඉදිරියේ අධිරාජ්‍ය විරෝධී, නිදහස්‌ අධ්‍යාපනය සුරක්‌ෂිත කරන බවට නැවත නැවත සපථ කරමින්, ආධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන්ට ඉඩදෙමින් උසස්‌ අධ්‍යාපනය මුදලාලිලා අතට පත්කරන ආණ්‌ඩුවක්‌ වීමයි.

      මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වර්තමාන රජයේ අනුග්‍රහය ආකාර කීපයකින් ලබාදෙන ලදී.

ෆ මුලින්ම රජය විසින් සිදුකරන ලද්දේ පෞද්ගලික වෛද්‍ය විද්‍යල සම්බන්ධයෙන් රටේ බහුතරයක්‌ ජනතාව තුළ තිබූ විරෝධය සමනය කිරීම සඳහා මාධ්‍ය භාවිත කරමින් අසත්‍ය ප්‍රචාර ගෙන යැමයි.

උදා 01 (- මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මගින් උසස්‌ පෙළ විභාගයෙන් රජයේ වෛද්‍ය පීඨවලට ඇතුළුවීමට ලකුණු දෙක තුනක්‌ අඩුවන අයට වෛද්‍යවරු බවට පත්වීමට අවස්‌ථාව ලැබෙන බව, මේවාට ඇතුල් වන සිසුන්ගෙන් 20% කට නොමිලේ අධ්‍යාපනය ලැබීමට අවස්‌ථාව ලබාදෙන බව ප්‍රකාශ කිරීම.

      නමුත් මේ දක්‌වා කිසිම ශිෂ්‍යයෙකු නොමිලේ අධ්‍යාපනය ලබාදීම සඳහා මෙම ආයතනයට බඳවා ගෙන නොමැති අතර සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවට අනුව මෙහි උසස්‌ පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළු වීම සඳහා අවම සුදුසුකම්වත් නොලැබූ සිසුන් සිටින බව තහවුරු වී ඇත.

ෆ එමෙන්ම රජය විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව ප්‍රබල හඬක්‌ නගන බලවේගයක්‌ වන විශ්වවිද්‍යාල සිසුන් දැඩිව මර්දනය කර, සිරගත කර, ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කර, ඔවුන් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලයෙන් ඈත් කර වෙනත් අරගලයන් තුළ හුදෙකලා කරන ලදී.

      රාජ්‍ය ආදායමෙන් අධ්‍යාපනය සඳහා අවම වශයෙන් 6% ක්‌ වෙන් කළ යුතු වුවත් එය 2% ටත් වඩා අඩුකර අධ්‍යාපනයේ වගකීමෙන් රජය නිදහස්‌ වී එය මුදලාලිලාට බාරදීමට රජය සූදානම් වේ.

      රටට පෙනෙන්නට අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ජනතාව පාරට බස්‌සවන ආණ්‌ඩුව අධිරාජ්‍යවාදී මුල්‍ය උපදේශකයන් සතුටු කිරීම සඳහා කරගෙන යන මෙම උසස්‌ අධ්‍යාපනය මුදලාලිලා අතට පත්කරන දෙබිඩි වැඩපිළිවෙළ අපි තරයේ ප්‍රතික්‌ෂේප කරමු. එවකට පැවැති එක්‌සත් ජාතික පක්‌ෂ ආණ්‌ඩුව මෙන්ම වර්තමාන ආණ්‌ඩුවද පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට කොන්දේසි විරහිතව අනුග්‍රහය දක්‌වන බව ජනතාව තේරුම් ගත යුතුව ඇත. පසුගියදා නිකුත් වූ සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාව මගින් මෙම උපාධි විකුණන මුදල් ගැරීමේ ජාවාරම රාජ්‍ය අනුග්‍රහය මත සිදුවන බව නැවත නැවතත් තහවුරු කර ඇත.

      සෞඛ්‍ය අමාත්‍යංශය විසින් හෙළිදරව් කර ඇති මෙම වාර්තාවෙන් පැහැදිලි වන සත්‍ය නම් වර්තමාන ආණ්‌ඩුවේ මෙම අධ්‍යාපනය ව්‍යාපාරිකයන්ට බාරදීමේ අවශ්‍යතාවයෙන් ජාවාරම්කරුවන්ට හොඳට මුදල් හම්බ කිරීමේ පොටක්‌ පෑදී ඇති බවයි. මන්ද පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමේ මුවාවෙන් කරන ඕනෑම මගඩියක්‌ සාධාරණීකරණය කිරීමට සහ ඔවුන් ආරක්‌ෂා කිරීමට උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාත්, වර්තමාන ආණ්‌ඩුවත් කැපවී සිටින බව මෙම ජාවාරම් කරුවන් අවබෝධ කරගෙන ඇත. එම නිසාම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ හිමිකරුවන්ට ඕනෑම රැවටීමක්‌ කර මුදල් ඉපයීමට අවස්‌ථාව ලැබී ඇත. තමන්ගේ දරුවන් ඔවුන්ගේ දක්‌ෂතා ඇති ක්‌ෂේත්‍රයට යොමු නොකොට කෙසේ හෝ වෛද්‍යවරයකු කිරීමේ සිහින දකින දෙමව්පියන් මෙම ජාවාරම්කාරයන්ට හසුවී දරුවන්ගේ ජීවිතත්, රටේ ජනතාවගේ සෞඛ්‍යත් අනතුරේ හෙළන තත්ත්වයකට පත්වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේම නිරීක්‌ෂණවලට අනුව,
* මෙම ආයතනයට ඊධෂ අනුමැතිය ගැනීමේදී මෙහි වෛද්‍ය විද්‍යා පාඨමාලාවක්‌ ආරම්භ කරන බව සඟවා ඇත.

* එමෙන්ම එවැනි පාඨමාලාවක්‌ ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ හෝ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය අවශ්‍ය වුවත්, එය ලබාගෙන නොමැත.

* මෙම මාළඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය මගින් පිරිනමන වෛද්‍ය උපාධි ශ්‍රි ලංකා වෛද්‍ය සභාව පිළිනොගන්නා බව ප්‍රකාශ කර තිබියදීත් මෙයට දිගින් දිගටම සිසුන් බඳවාගෙන ඇත.

* මෙම වෛද්‍ය පීඨය රුසියාවේ නිෂ්නිනෝව්ග්‍රෝඩ් රාජ්‍ය ඇකඩමියට අනුබද්ධව උපාධි පිරිනමන බව පැවසුවද, එම විශ්වවිද්‍යාලයේ අදාළ අනුමැතිය ලැබීමට පෙර සිටම සිසුන් ඇතුළත් කරගෙන ඇති බව.

* මෙහි ඇතුළත් කරගෙන ඇති සිසුන් අතර ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් කරගැනීමේ අවම සුදුසුකම වන උසස්‌ පෙළ සමත්වීම පවා සපුරා නැති සිසුන් ඇති බව.

* රජයේ වෛද්‍ය පීඨවලට වසරකට එක්‌ සිසුන් කණ්‌ඩායමක්‌ බඳවා ගත්තත්, මෙම අයතනය වසරකට ශිෂ්‍ය කණ්‌ඩායම් දෙක බැගින් බඳවා ගෙන ඇති බව.

* වෛද්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක්‌ වන සායනික පුහුණුව ලබාදීමට මේ දක්‌වා වැඩපිළිsවෙළක්‌ නොමැති බව සහ ඒ සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් දෙමව්පියන් සහ සිසුන් මුළා කිරීම.

* ඉහත කමිටුව විසින් ඔවුන්ගේ වාර්තාව එළිදක්‌වන තෙක්‌ තවත් සිසුන් බඳවා නොගන්නා ලෙස සිදුකළ ඉල්ලීම පවා ඉවත දමමින් නැවත නැවත සිසුන් බඳවා ගැනීම.

      නමුත් ඉහත කමිටුවේ යෝජනා විමර්ශනය කළ විට පෙනී යන්නේ ඒවා ඔවුන්ගේ නිරීක්‌ෂණයන්ට කොහෙත්ම නොගැලපෙන බවයි.

      ඔවුන්ගේ නිරීක්‌ෂණවලට අනුව, අදාළ ආයතනය විසින් රාජ්‍ය ආයතනවලට වැරදි තොරතුරු ලබාදීම, දෙමව්පියන් හා සිසුන් රවටා මුදල් වංචා කිරීම සිදුකර ඇත. එමෙන්ම ජනතාවගේ සෞඛ්‍යට තර්ජනයක්‌ විය හැකි වෛද්‍ය උපාධිධාරීන් බිහි කිරීමට මෙම ආයතනය සැරසෙයි. එසේ නම් ඔවුන් යෝජනා කළ යුතුව තිබුණේ අදාළ වගකිව යුත්තන්ට දඬුවම් කිරීම සහ මෙම ආයතනය රජයට පවරා ගන්නා ලෙසයි.

      නමුත් ජනතාවගේ සෞඛ්‍යයට හෙන ගැහුවත්, අධ්‍යාපන අයිතියට කුමක්‌ වුවත් කමක්‌ නැත. අපට ඕන ලංකාවේ පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්නයි කියන ස්‌ථාවරයේ සිටින උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාගේ සහ රජයේ ප්‍රතිපත්තිය අනුව ඔවුන් යෝජනා කර ඇත්තේ කෙසේ හෝ මෙම ආයතනය පවත්වාගෙන යැමට සහ තවත් මෙවැනි ආයතන ඇති කිරීමට පහසු කිරීමේ වැඩපිළිවෙළකි.

      මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාව තුළ උසස්‌ අධ්‍යාපනය ලැබීමේ අයිතිය මුදල් ලක්‌ෂ ගණන් වියදම් කළ හැකි අයට පමණක්‌ උරුම කිරීමේ උත්සාහයත්, ලක්‌ෂ 75 ට වෛද්‍ය උපාධියක්‌ මිලදී ගෙන සෞඛ්‍ය සේවයට ඇතුළු වන සුදුසුකම් නොලත් වෛද්‍යවරුන්ගෙන් තමන්ගේ ජීවිතවලට වන අවදානමත් පරාජය කළ යුතු යෑයි සිතන පිරිස්‌ අවදි විය යුතු කාලය එලැඹ ඇත.

     ජනතාව විසින් ජනතාවගේ අධ්‍යාපන අයිතිය සහ සෞඛ්‍ය ආරක්‌ෂා කිරීමට පත්කළ රජයම ජාවාරම්කරුවන් සමග එක්‌වී එම අයිතිය විනාශ කිරීමට සූදානම් වන තත්ත්වයක්‌ තුළ ජනතාවට ඇති එකම විකල්පය ඔවුන් සංවිධානය වී මෙම තත්ත්වය පැරදවීමට කටයුතු කිරීමයි.

      පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි වෛද්‍යවරුන්ගේ සංවිධානය ලෙස අප ඒ සඳහා නායකත්වය දීමට කටයුතු කරමු.

      අප සංවිධානයක්‌ ලෙස මෙම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා රජයට පවරා ගන්නා ලෙස බල කරමින් සිටින්නේ ප්‍රධාන කාරණා 03 ක්‌ මුල් කර ගෙනයි.

01. අධ්‍යාපනයේ සමාන අයිතිවාසිකම් ආරක්‌ෂා කිරීම.

      වෛද්‍ය උපාධියක්‌ රුපියල් ලක්‌ෂ 75 ට මිල කිරීම නිසා සිසුන් අතර බරපතළ විෂමතාවක්‌ සහ අපේක්‌ෂා භංගත්වයක්‌ ඇතිවේ. වෛද්‍යවරයෙකු වීමට සාමාන්‍ය පංතියේ ශිෂ්‍යයෙකුගේ ඉලක්‌කය A 3 ක්‌ වෙද්දී එම විභාගයටම පෙනී සිටින තවත් කෙනෙකුගේ එය S 3 + ලක්‌ෂ 70 ක්‌ වීම මෙම අපේක්‌ෂා භංගත්වයට සහ අසහනයට හේතු වේ.

      එමෙන්ම රජය උසස්‌ අධ්‍යාපනය සඳහා වෙන් කරන ප්‍රතිපාදන අඩුකරමින් රජරට හා නැගෙනහිර විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ වලට අවශ්‍ය අවම පහසුකම් පවා ලබා නොදීම තුළ ක්‍රමක්‍රමයෙන් රජය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ කිරීමේ උත්සාහයක නිරතව ඇත.

02. ජනතාවගේ සෞඛ්‍යයට ඇතිවන තර්ජනය

      ලක්‌ෂ 80 ට වෛද්‍ය උපාධිය විකිණීම සහ එහි තත්ත්වය ආරක්‌ෂා කිරීම යන දෙකම එකට කළ නොහැකිය. රජයේ වෛද්‍ය පීඨවලට උසස්‌ පෙළින් ඉහළම ලකුණු ලබා පැමිණෙන සිසුන්ගෙන් පවා කීපදෙනකුට විභාගවල පරිසාධන මට්‌ටමට පැමිණීමට නොහැකිවීම නිසා වෛද්‍ය උපාධිය අතරමග අතහැර යැම සෑම වසරකම සිදුවේ. නමුත් ලක්‌ෂ 80 ක්‌ දී මෙවැනි ආයතනවලට ඇතුළු වන සිසුන්ට එවැනි තත්ත්වයක්‌ ඇති නොවේ. අනෙක්‌ අතට සෞඛ්‍ය අමාත්‍යංශයම පෙන්වා දෙන පරිදි වසරකට ශිෂ්‍ය කණ්‌ඩායම් කීපයක්‌ බඳවා ගනිමින් ඔවුන් වැඩිපුර මුදල් ඉපයීමට සැරසෙනවා මිස තත්ත්aවය ආරක්‌ෂා කිරීමට උනන්දුවක්‌ නොදක්‌වයි.

      පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල ඇති මෙම තත්ත්වය නිසාම එංගලන්තය වැනි රටවල් ඔවුන්ගේ රටවල ඇති පුද්ගලික වෛද්‍ය පීඨවලින් බිහිකරන වෛද්‍ය උපාධිධාරීන්ට එම රටවල වෛද්‍යවරු ලෙස සේවය කිරීමට අවස්‌ථාව ලබාදී නොමැත.

      එම රටවලද එවැනි තත්ත්වයක්‌ පවතිද්දී අප රටේ පවතින්නේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ තත්ත්වය සම්බන්ධව ප්‍රශ්න කරන නිලධාරීන්ට පහර දෙන, ඔවුන් ඉවත් කර තමන්ගේ ඕනෑ එපාකම්වලට අනුව වැඩකරන නිලධාරීන් අදාළ ආයතනවලට පත්කරන තත්වයකි. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ තත්ත්වය පිළිබඳ වගකීම ඇති ආයතනය වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙම වෛද්‍ය උපාධිය පිළිගත නොහැකි බව ප්‍රකාශ කළ විට උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කළේ තම රජයට 2/3 ක බලයක්‌ ඇති බවත් ශ්‍රි ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැර හෝ අදාළ පිළිගැනීම ලබාදෙන බවත්ය.

      එම තත්වය තුළ ඕනෑම කඩයකින් උපාධි මිලදී ගන්නා අයෙක්‌ වෛද්‍යවරුන් ලෙස සෞඛ්‍ය සේවයට ඇතුළු වීමේ අනතුරක්‌ අප රට තුළ ඇත. මෙය අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය හා ජීවිත සම්බන්ධයෙන් බරපතළ අනතුරුදායක තත්ත්වයක්‌ ඇති කරයි.

03. ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධියට ලෝකයේ ඇති පිළිගැනීම අහිමි වීමේ අනතුර

      රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවත්වාගෙන යන උසස්‌ තත්ත්වය නිසා මේ වනවිට ලෝකයේ ඕනෑම රටක අපගේ වෛද්‍ය උපාධියට ඉහළ පිළිගැනීමක්‌ ඇත. නමුත් මෙම මාලඹේ උපාධි කඩය ආරම්භ වීමත් සමග ලෝකයේ සමහර රටවල් ශ්‍රී ලංකාව තත්ත්වයෙන් බාල වෛද්‍ය උපාධි පිරිනමන රටක්‌ බවට සලකුණු කර ඇත. මෙය විදේශවල සේවය කිරීම හෝ වැඩිදුර පුහුණුව බලාපොරොත්තු වන වෛද්‍යවරුන් කෙරෙහිද අහිතකර ලෙස බලපෑම් ඇතිකර ඇත.

කළ යුත්තේ කුමක්‌ද ?

     අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවාවන් වලින් නිදහස්‌ වීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළත්, එම වැඩපිළිවෙළින් ප්‍රයෝජන ගන්නා ජාවාරම්කරුවනුත් යන දෙකම පරාජය කළ යුතුය. ඒ සඳහා වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාරය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ බුද්ධිමතුන්ගෙන් සමන්විත ව්‍යාපාරයක්‌ ගොඩනැංවිය යුතුය.

      1981 දී ආරම්භ කළ උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය මෙන්ම මෙයද රජයට පවරාගෙන සුදුසුකම් ලත් වෛද්‍යවරු බිහිකරන රාජ්‍ය විශ්වවිද්‍යාලයක්‌ බවට පත්කිරීම සඳහා සැවොම පෙලගැසිය යුතුය.

      ඒ සදහා වෘත්තීය සමිති, දේශපාලන පක්‌ෂ භේදයකින් තොරව අප සමග එක්‌වෙන ලෙස සියලු ජනතාවගෙන් පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි වෛද්‍යවරුන්ගේ සංවිධානය ලෙස අප ඉල්ලා සිටිමු.
වෛද්‍ය අසංග වික්‍රමසිංහ

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි