ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Thursday, September 22, 2011

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අර්බුදයක ඇරඹුමද?

     පසුගියදා රුපවාහිනි නාලිකාවක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් සංවාදයක්‌ පැවැත්විණි. එම සංවාදයට විද්වත්හු හතර දෙනෙක්‌ ද සහභාගි වී සිටියහ. එහෙත් එම සංවාදය නැරඹූ අපට දැකගන්නට තිබුණේ, එම සංවාදය ද සමබර එකක්‌ නොවූ බවයි. එහෙයින් එම සාකච්ඡාව තුළින් අපට යථාවබෝධ වුයේ මාලඹේ වෛද්‍ය විද්‍යාලය තුළින් පිරිනැමීමට අපේක්‍ෂිත උපාධි සහතික පත්, ඒක පාර්ෂිකවම සාධාරණීකරනය කරන්නට වැඩි වාසිය සැලසුන බවයි.

     ඒ වගේම එම උත්සාහය මේ රටේ වෙසෙන සෑම විද්වතාගේම මතය නොවන බවද මෙහිදී සඳහන් කළ යුතුය. එම සංවාදයේදී වැඩියෙන් මාතෘකා බවට පත් කරගත් තර්ක අනුවද අපට වැටහුණේ කබරගොයා තලගොයා බවට පත්කර ගත යුතුවම ඇති බවයි. එහිදී වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු ප්‍රමිතිය සහ ගුණාංග ගැන එක විද්වතෙක්‌ සාධාරණ කරුණු විග්‍රහ කරන කළ සහ එසේ විය යුතුම නම් එම විද්‍යාල කොළඹින් පිට දුෂ්කර පළාත් වල ස්‌ථාපනය විය යුතුය යනුවෙනි.

     මෙහිදී මෙම විද්වතුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ, වැඩිදුර අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල කරා ඇදී යන ශිෂ්‍යයන් හරහා වාර්ෂිකව රුපියල් කෝටි 11,000 ක්‌ විදේශ විනිමය වැය කරන්නට සිදුවන බවයි. එහෙයින් පෞද්ගලික විශ්ව විද්‍යාල මෙලෙසින් තවදුරටත් ස්‌ථාපනය නොවුන හොත් අනාගතයේදී එම වියදම තව දුරටත් වැඩි විය හැකි වන බවයි. අප මෙහිදී නගන තර්කය වන්නේ, අපගේ භාණ්‌ඩාගාරය හැමදාමත් පල්ල තැලූන කලගෙඩියක්‌ බවට පත්ව ඇත්තේ අද ඊයේ පටන් නොවන හෙයින් මෙවන් පුංචි සිදුරක්‌ වැසීමෙන් පමණක්‌ සියල්ල විසෙ`ද්විද යන්න පිළිබඳවයි. එහෙත් එක්‌ සිදුරක්‌ හෝ වසා ගැනීම වුවද මහා ගනඳුරකට එක පහනක්‌ දැල්වූවා සේ වන බව අපි ද නොදන්නවා නොවන්නෙමු. එපමණක්‌ නොව ඔවුන් විසින් තව දුරටත් කියා සිටියේ ප්‍රමිතියක්‌ නැත්නම් මෙරට පිළිගත් වෛද්‍යවරුන් විශාල පිරිසකගේ දරුවන් ද මෙම විද්‍යාලයට ඇතුල් කරන්නේ මන්ද යන තර්කාණුකූල කාරණාවයි. ඒ අනුවද අපට වැටහෙන්නේ ඒ මොහොතේ බලලා මල්ලෙන් එළියට පැන්නා කියාය. මෙහිදී අප නගන තර්කය වන්නේ, ලෝකයම පිළිගත් අපගේ වෛද්‍ය විද්‍යාලයකට මෙම මහ ලොකු වෛද්‍යවරුන්ගේ දරුවන් ඇතුළත් කරගන්නට ඔවුන් සමත් නොවන්නේ මන්ද, ඔවුන්ව වෛද්‍ය විද්‍යාලයකටම ඇතුලත් කර ගන්නට මෙතරම් වෙහෙසෙන්නේ රෝගීන් ගැන සංවේදී වූ සද්භාවයෙන්මද, එසේත් නැත්නම් මෙම වෘත්තියෙන් ලැබෙන ප්‍රතිලාභවල බර වැඩි කම නිසාමද, සැමදාමත් තම පැලැන්තියම වෛද්‍ය වෘත්තියෙහි යෙදිය යුතු නිසාමද, ගොවියන්ගේ කම්කරුවන්ගේ සහ මේ රටට සැමදාමත් බත බුලත සපයන සහ දහදිය හෙලමින් කඹුරන මිනිසුන්ගේ දරුවන් වෛද්‍ය වරුන් නොවිය යුතු නිසාද, මිලියන ගණනින් විසි කරන්නට මුදල් නැති හෙයින් ඔවුන්ගේ දරුවන් සැමදාමත් එම ස්‌ථරයන් තුළම ජීවත් විය යුතු නිසාමද, යනුවෙනි.

     කෙසේ වෙතත් 1948 " මේ රටට නිදහස ලැබුණ දා පටන් මේ වන තෙක්‌ම මෙවන් ප්‍රශ්න ගණනාවක්‌ම නිසි විස`ඳුම් නොමැතිව තවමත් ඔඩු දුවමින් ඇත. ඒ වගේම තට්‌ටු මාරුවට බලය ලබා ගත් ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක විසින් කාලාන්තරයක්‌ තිස්‌සේම වමට සහ දකුණට අදිමින් විවිධ දේශපාලන මත පල කරමින් විවිධ ක්‍රමවේදයන් අනුගමනය කර ඇත. එය හරියට එළ හරකයි මී හරකයි බැඳි ගැල මෙන් ගොඩටයි මඩටයි ඇදුනා වැනිය. මේ වන විට එම තත්වයද වෙනස්‌ වී ඇත. ඒ අනුව එල හරකව ලිහා දමල තවත් මී හරකෙක්‌ම බැඳගෙන මඩටම ඇදෙන බව පෙනෙන්නට ඇත. මේ වන තෙක්‌ බලයට පැමිණෙන්නට නොහැකි වු පිරිස්‌ විසින් ද එම දෙපිරිසම දැඩි විවේචනයට ලක්‌ කෙරේ. තවදුරටත් කෙරෙන්නේ ද ඒ ටිකම පමණි. එහෙත් ඔවුන්ටද මේ සඳහා විකල්ප නැත. මේ අනුව වැඩියෙන්ම දෝෂ දර්ශනයට ලක්‌ වෙමින් පවතින්නේ පෞද්ගලික කරණය පිළිබඳවය. එයින් අදහස්‌ වන්නේ ජනසතු කරණය වැනි දේ විවේචනයට ලක්‌ නොවූ බවද නොවන්නේය. ඒ කෙසේ වෙතත් මේ සෑම පාර්ශ්වයක්‌ විසින්ම මේ දක්‌වා කර ඇත්තේ කන්නට හිතුන විට කබරගොයා තලගොයා බවට පත්කර ගැනීමේ න්‍යාය අනුගමනය කිරීම පමණක්‌ බව අපට පැහැදිලිය.

     රාජ්‍ය අංශය යනු, තම රට දැය සමය හොඳින් පරිපාලනය කරනු ලබන අංශය ලෙසද. පෞද්ගලික අංශය යනු ඒ තුළ හොඳින් පාලනය වන අංශය ලෙසද, වෙනත් ආකාරයකින් සඳහන් කරනවානම් රජය යනු පාලකයා වන බවද, පෞද්ගලික අංශය යනු පාලිතයා වන බවද, මේ කිසිවෙකු විසින් හ`ඳුනාගෙන නැත. ඒ සඳහා අවශ්‍ය වට පිටාව නිර්මාණය කරගෙන නැත. එපමණක්‌ නොව රජය විසින් වෙනමම සිදු කළ යුතු වන යුතුකම් සහ වගකීම් සහිත කාර්ය භාරයක්‌ද, පෞද්ගලික අංශය විසින් සිදු කළ යුතු වන යුතුකම් සහ දැරිය යුතු වගකීම් සහිත වෙනමම කාර්ය භාරයක්‌ ද ඇත. මෙම කාර්ය භාරයන් දෙක සංශෝධනය කර ගත යුතු වන්නේ කෙසේද යන්න මේ කිසිවෙකුට අවබෝධයක්‌ නැත. සියලුම පරිපාලන කටයුතු, මහජන සේවා සහ ශුභසාධන කටයුතු මෙන්ම සියලුම යටිතල පහසුකම් සැපයීමද, බදු සහ බලපත්‍ර ගාස්‌තු මෙන්ම ලියාපදිංචි ගාස්‌තු, මුද්දර ගාස්‌තු යනාදිය අය කර ගැනීමද, 100% ක්‌ම රජයේ පාර්ශ්වය විසින්ම සිදු කළ යුතු වන බව සහ කෘෂිකාර්මික, කාර්මික, ඉදිකිරීම්, වෙනත් නිෂ්පාදන සහ වෙළඳ කටයුතු 100% ක්‌ම පෞද්ගලික අංශය වෙත භාර කළ යුතු වන බව ඔවුන් දන්නේ නැත.

     රාජ්‍ය අංශය විසින් සිදු කළ යුතු වන ඉහත සඳහන් ඉතාමත්ම සරල සහ සෘජු ක්‍රමවේදයන් පෞද්ගලික අංශයට භාර කරමින් ජනතාව සූරාකෑමටද, පෞද්ගලික අංශය විසින් සිදු කළ යුතු වන බරපතල සහ සංකීර්ණ ක්‍රමවේදයන් රාජ්‍ය අංශය භාරයට ගෙන, ඒ තුළට දූෂණය සහ වංචාව රිංගවීමට ද ඇති අවකාශයන් අහුරා දැමිය යුතු වනු ඇත. එපමණක්‌ නොව ඉහත සඳහන් පරිදි රාජ්‍ය අංශයට පැවරෙන කාර්යයන් ඉතාමත්ම සරල සහ සෘජු වන හෙයින් ආයාසයකින් තොරව සහ ඵල ලබන්නට හැකි වන බවද, පෞද්ගලික අංශයට පැවරෙන කාර්යභාරය ඉතාමත්ම සංකීර්ණ සහ බරපතල වුවද ලාභ උපයන පරමාර්ථයෙන් මෙන්ම දැඩි වගකීමෙන් සහ උනන්දුවෙන් වැඩකරන කාර්ක්‍ෂම වූ පෞද්ගලික අංශයටම පමණක්‌ ගැලපෙන බවද, වටහා ගත යුතුය. ඒ අනුව ලාභ උපයන ආකාරයෙන් සිදු කෙරෙන කාර්යයන් කිසිවක්‌ රජය සතු නොවන හෙයින් රාජ්‍ය අංශයේ දූෂණයට සහ වංචාවට තිත තැබීමට පහසු වන බවත්, ලාභ ඉපැයීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන සිදු කෙරෙන කාර්යයන් සියල්ලම කාර්යක්‍ෂම වූ පෞද්ගලික අංශයට පැවරීම තුළින්, රජය අපේක්‍ෂා කරන සංවර්ධන ඉලක්‌කය කරා පහසුවෙන් ළ`ගා වන්නට හැකි බව ඔවුන් දන්නේ නැත.

     ඒ අනුව කිසි විටෙකත් රාජ්‍ය අංශයේ වගකීමෙන් කොටසක්‌ හෝ පෞද්ගලික අංශය පැවරීමවත්, පෞද්ගලික අංශය විසින් සිදුකළ යුතු කාර්යභාරයෙන් කොටසක්‌ හෝ රජයට පවරා ගැනීමක්‌වත්, සිදු නොකළ යුතුය. එසේ නොමැතිව වෘත්තීය සමිති විසින් කරනු ලබන වැරදි ඉල්ලීම් හෝ බලපෑම්ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් එවන් විදේශ ආයතනයක්‌ හෝ සංවිධානයක්‌ විසින් රටක අනන්‍යතාවයන්ට නොගැලපෙන පරිදි ඉල්ලනු ලබන ඉල්ලීම් හෝ සිදු කරනු ලබන බලපෑම්ද, එරටට අදාල නොවිය යුතු වනු ඇත. ඒ අනුව මෙම වගකිව යුත්තන් විසින් ක්‍රියා කළ යුතු වන්නේ ද තම දේශපාලන න්‍යාය පත්‍රයට අනුව පමණක්‌ බවද ඔවුන් නොදනිති. එහෙත් මේ වන තෙක්‌ මේ රටට එවන් දේශපාලන න්‍යාය පත්‍රයක්‌ අහිමි වීමද අවාසනාවකි. අප රටට ද යහපත් දේශපාලන න්‍යාය පත්‍රයක්‌ වුයේනම්, මෙම වෛද්‍යවිද්‍යාලද රාජ්‍ය අංශයට පමණක්‌ සීමා වනු ඇත. එමෙන්ම මෙම වෛද්‍ය විද්‍යාල අයත් වන්නේ ද අධ්‍යාපන ක්‍ෂේත්‍රයටම බව හැෙ`ගනු ඇත. අධ්‍යාපන ක්‍ෂේත්‍රය අයත් වන්නේ රාජ්‍ය සේවා අංශයටද, වෛද්‍ය විද්‍යාල පමණක්‌ නොව මුළු අධ්‍යාපන ක්‍ෂේත්‍රයම අයත් විය යුතු වන්නේ රාජ්‍ය අංශයටම බව ද තර්කයක්‌ නොවනු ඇත. ඒ වගේම යහපත් දේශපාලන න්‍යාය පත්‍ර අහිමි රටවල්වල එවන් සේවාවන් පෞද්ගලික අංශයට හිමි වී ඇතත්, යහපත් දේශපාලන න්‍යාය පත්‍රයක්‌ අතැති වීනම් ඔවුන්ටද එසේ කරන්නට සිදු නොවනු ඇත.

     එහෙයින් මේ මොහොතේ මෙම වෛද්‍ය විද්‍යාල පිළිබඳ ගැටලූව අවනඩුවක්‌ බවට පත්ව ඇත්තේ අන් කිසිවක්‌ නිසා නොව, මනා දැක්‌මක්‌ සහ යහපත් ප්‍රතිපත්තියක්‌ තුළ ශක්‌තිමත් පදනමක්‌ සහිත වූ දේශපාලන න්‍යාය පත්‍රයක්‌ මෙම සුපුරුදු දේශපාලනඥයින් අතට පත් නොවීමේ වරදිනි. එවන් දේශපාලන න්‍යාය පත්‍රයක්‌ සම්පාදනය කර ගන්නට ද ඔවුන් තවමත් අපොහොසත් වූ හේතුවෙනි.

     එවන් මනා දැක්‌මක්‌ තිබුණේ නම්, ලාභ නොලබා සුබ සාධනයන් පරිදි සිදු කළ යුතු වන සේවාවන් මොනවාද, ලාභ ඉපැයීම සඳහා සිදු කළ යුතු වන ව්‍යාපාරික කටයුතු මොනවාද, යන්න මෙම වගකිවයුත්තන් විසින් පහසුවෙන් තේරුම් ගන්නවා ඇත. එසේ තේරුම් ගන්නට තරම් හොඳ දැක්‌මක්‌ තිබුණේ නම්, සේවා අංශය සහ ව්‍යාපාරික අංශය ද පහසුවෙන් වෙන් කර ගන්නවා ඇත. ඒ වගේම සේවා අංශ යනු රාජ්‍ය අංශයම වන බවත්, ව්‍යාපාරික අංශය යනු පෞද්ගලික අංශයම වන බවත් පහසුවෙන් වටහා ගන්නවා ඇත. ඒ ටික වටහා ගන්නට තරම් දැක්‌මක්‌ මෙම අමනෝඥයින්ට තිබුණේ නම්, බරපතල සහ සංකීර්ණ ව්‍යාපාරික කටයුතු රාජ්‍ය අංශයට ගෙන දූෂණය සහ වංචාව ඒ තුළ රජ කරවන්නට අවකාශ නොතබනු ඇත. ඒ වගේම සරලව මෙන්ම සෘජුව සිදු කළ යුතු වන සේවා සහ ශුබ සාධන කටයුතු පෞද්ගලික අංශයට පවරා දී, අහිංසක ජනතාව සූරා කන්නට ද අවකාශ නොතබනු ඇත. එපමණක්‌ ද නොව, වෙනත් රටක මෙවන් ක්‍රියාකාර කම් සිදු වූ පමණින් අප රටට ද ආදේශ කරගන්නට උත්සාහ නොකරනු ඇත. ඒ අනුව අපට වැටහෙන්නේ මෙම දේශපාලනඥයින් දිගින් දිගටම වෙහෙසෙන්නේ සහ ක්‍රියා කරන්නේ, නිවැරදි දැක්‌මකින් තොරව වන බවයි. නොඑසේනම් බලය නොමැති කල මෙම ක්‍රමවේදයන්ට දැඩි විරෝධය පාන්නටත්, බලය ඇති කල කබරගොයා තලගොයා බවට පත්කර ගන්නටත් පුළුවන් කමක්‌ නොමැති වනු ඇත.

     ඒ වගේම යහපත් රාජ්‍ය ප්‍රතිපත්තිය සහ ජාතික ප්‍රතිපත්තීන් කීපය හ`ඳුනාගෙන තිබුණේa නම්, මෙවන් පටලැවිලි ද කිසි දිනෙක සිදු නොවනු ඇත. ඒ අනුව ධනය, සම්පත්, සේවය, ශුබ සාධනය සහ මානව බලය ජනතාව අතර සාධාරණව බෙදෙන සහ හිමි වන රාජ්‍ය ප්‍රතිපත්තියක්‌ද, රාජ්‍ය අංශය නියෝජනය වන්නා වූ අධ්‍යාපන ක්‍ෂේත්‍රය, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය වැනි සේවාවන් සහ සුබ සාධනය යන අංශයන් පිණිස අවශ්‍ය වන ජාතික ප්‍රතිපත්ති කීපයද, පෞද්ගලික අංශය නියෝජනය විය යුතු වන්නා වූ කෘෂිකර්ම ක්‍ෂේත්‍රය, කාර්මික ක්‍ෂේත්‍රය, වෙළඳ ක්‍ෂේත්‍රය වැනි ව්‍යාපාරික අංශයන් පිණිස අවශ්‍ය වන ජාතික ප්‍රතිපත්ති කීsපයද, සම්පාදනය කර ගන්නවා ඇත. එමෙන්ම ඒවා එකිනෙකට පරස්‌පර නොවන පරිදි, අනුකූල වන පරිදි සමබර වන පරිදි මෙන්ම එකිනෙක හොඳින් පෝෂණය වන පරිදි ප්‍රතිපත්තිමය වශයෙන් පිහිටා කටයුතු කරන්නට පහසු කර ගන්නවා ඇත, එසේ වීනම් වෛද්‍ය උපාධි පිරි නැමීමේ වරම කෙදිනකවත් පෞද්ගලික අංශයට හිමි නොවනු ඇත. එහෙයින් මේ අනුව අපට වැටහෙන්නේ මෙම අවනඩුවට හේතුව අප රටට ගැලපෙන සහ අවශ්‍ය වන ප්‍රතිපත්ති නොමැති කම බවයි.

     ඒ වගේම සාධාරණ සමාජ සමානාත්මතාවය සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය සුරුකෙන ශක්‌තිමත් පදනමක්‌ අපට තිබුනේ නම්, ඉහතින් සඳහන් කළ පරිදි වාර්ෂිකව පිට රටට ඇදී යන කෝටි 11,000 වැය කරමින් මෙවන් සේවාවන් පුළුල් කර පූර්ණ රාජ්‍ය සේවාවන් බවට පත් කරගන්නට අවශ්‍ය වටපිටාව ද ඉබේටම සැලසෙනවා ඇත. තවද එවන් පදනමක්‌ වූයේනම්, පූර්ණ ව්‍යාපාරික කටයුතු පෞද්ගලික අංශයට පවරන්නට ද පහසු ඉඩ කඩ විවර වනු ඇත. එපමණක්‌ නොව යහපත් පෞද්ගලික අංශයක මහිමයෙන් යෝධ බලසම්පන්න රජයක්‌ ද නිර්මාණය කරගන්නට හැකි වනවා ඇත. ඒ වගේම දෙපයින් නැඟීs සිටින්ට සහ ඕනෑම ජිවන අභියෝගයකට මුහුණ දෙන්නට හැකි ශක්‌තිමත් පුරවැසියෙක්‌ද නිර්මාණය වනවා ඇත. එසේ නොමැතිව යුද්ධය දිනා දුන් පමණින් සහ රට දැය සමය ගැන සැබෑ වුවමනාව පෙන්වූ පමණින්, වෛද්‍ය විද්‍යාල හෝ වෙනත් විශ්ව විද්‍යාල පමණක්‌ නොව අනෙකුත් පාසැල් පවා පෞද්ගලික කරණය කිරීමෙහි කිසිදු සදාචාරත්මක කමක්‌ නොමැත. ඒ වගේම ඒ මතම පිහිටා ප්‍රසස්‌ති ගායනා කරමින් තමුන්ගේ පටු සහ පවිටු අරමුණු ඉටු කර ගැනීම සඳහා කඩේ යාමෙහිද කිසිඳු සදාචාරයක්‌ නොමැති බව කිව යුතුය.

     එහෙයින් දෙස බස රැස රැකගෙන සංව_ධනය කරා ගමන් කරන්නට නම්, හිතන තරම් සාක්‍ෂරතාවයක්‌ද, පර භාෂා දැනුමක්‌ද, තාක්‍ෂණ විප්ලවයක්‌ද, අවශ්‍ය නොවනු ඇත. එමෙන්ම සේවා සහ ශුබ සාධන කටයුතු අලෙවි කරන්නටද, අමුතුවෙන් සහනාධාර සපයන්නටද, අවශ්‍ය නොවනු ඇත. ඒ වගේම සියලු දෙනාම දොස්‌තර වරුන් කරන්නටද, ඉන්ජිනේරුවන් කරන්නටද, පිටරට රැකියාවල නිරත කරවන්නටද අවශ්‍ය නොවනු ඇත. අවශ්‍ය වන්නේ, ගොවියාගේ කම්කරුවාගේ පටන් මේ රට තුළ වෙසෙන ශ්‍රම බලකාය සියයට 100 ක්‌ම රටේ සංවර්ධනයට දායක කර ගැනීම පමණි. ඒ සඳහා වෛද්‍යවරයෙකුට ඉන්ජිනේරුවෙකුට හෝ අද සමාජයේ එවන් උසස්‌ යෑයි සලකන වෘත්තිකයෙකුට මෙන්ම මූල්‍යමය සහ සමාජමය වටිනා කමක්‌ දහඩිය හෙලන්නන්ටද ලබා දීම පමණි. සංවර්ධනයෙහිදී ලා මේ සෑම ශ්‍රමිකයෙකුම එක සේ අගනා බව වටහා ගැනීම සහ ඒ අනුව ක්‍රියා කිරීම පමණි. තම පුරවැසියන් සියලු දෙනාම ඇට ලේ මස්‌ නහර වලින් එකසේ නිර්මිත වූවන් බව වටහාගෙන ක්‍රියා කිරීම පමණි. එසේ නොමැතිව කෙසේ හෝ මුදල් උපයාගත් මිනිසුන් කොටසකට පමණක්‌ විශ්ව විද්‍යාල පහසුකම් සපයන්නටත්, පිටරට උපාධි සහතික පත් ලබා ගැනීමටවත් පහසු කම් සැපයීම නොවටින්නේය. එසේ ක්‍රියා කිරීම යනු ද අප අපේක්‍ෂා කරන අපේ කම් රැක ගැනීමක්‌වත් ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය රැක ගැනීමක්‌වත් නොවනු ඇත.

     එසේ නොමැතිව පෞද්ගලික විශ්වවිද්‍යාල වැනි විකෘති ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් තවදුරටත් අප රට තුළ සිදු වන්නේ පනින රිලවුන්ට ඉනිමං බැඳීමක්‌ වැනි කටයුත්තක්‌ පමණි. ඒ වගේම මුලු අධ්‍යාපන ක්‍ෂේත්‍රයම අවුලෙන් අව්ලට පත් කිරීම පමණි. ඒ කෙසේද යත්, යහපත් දේශපාලන න්‍යාය පත්‍රයක ආශිර්වාදය නොමැතිව අනෙකෙකුට අසාධාරණය සිදු කරමින් තර`ගකාරිත්වය තුළ ගොඩනැගුන, මේ රටේ මේ මොහොත වන විටත් පොහොසතනුන් ලෙස ජීවත් වන මිනිසුන් අතරින් සියයට 99 ක්‌ම තර`ගකාරිව මෙන්ම කූට ලෙස මුදල් උපයා ගත් ධන කුවේරයින් වන හෙයිනි.

     එහෙයින් ආර්ථිකය යහපත්ය, සංවර්ධනය යහපත්ය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය තහවුරුය, කියමින් රාජ්‍ය ආයතන පෞද්ගලික කරණය කිරීමෙන්වත්, සංචාරක ව්‍යාපාරය දියුණු කරනවාය කියමින් සිංහරාජය වැනි වන අඩවිය කැපීමෙන්වත්, අපගේ උරුමයන් සහ පරිසරය විනාශ කිêමෙන්වත් තවත් එවන් දේ නොමරා මරන කරුණු කාරනා සිදු කිරීමෙන්වත්, මේ ආණ්‌ඩුවෙන් ජනතාව අපේක්‍ෂා කළ කිසිවක්‌ ඉටු නොවනු ඇත. එසේ ඉටු වනවානම් ඉටු වන්නේ, ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කළ යළිs පුබුදමු ශ්‍රී ලංකා නමැති ධනවාදී වැඩ පිළිවෙළෙහි අන්තර්ගත වූ වුවමනාවන් පමණි.

     එහෙයින් වඩාත්ම නිවැරදියෑයි කියා අප දකින්නේ, එම ධනවාදී රාමුවෙන් වහාම මිදී නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට මේ රජය අවතිර්ණ විය යුතු වන බවත්, අතලොස්‌සක්‌ වන ලොකු ලොක්‌කන්ට පමණක්‌ කන් නොදී බහුතරයක්‌ වන සොක්‌කන් ගැන සිතීම ඇ`ගට ගුණ වන බවත්ය. එම තත්වය ආරක්‍ෂා නොවන්නේනම්, අපි කව්රු කවුරුත් අපේක්‍ෂා කරන රටක්‌ ඉතිරි නොවන බවද ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය බෝඩ් ලෑල්ලට පමණක්‌ සීමා වී, අනාගතයේදී මේ පුංචි දිවයින තුළ මහද්වීපයකටත් වැඩියෙන් අභියෝග, අර්බුද සහ ගැටලු නිර්මාණය වනු ඇති බවයි.

බී. එම්. එස්‌. බාලසූරිය
දිවයින - 2011/09/21

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි