ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Saturday, January 14, 2012

ත්‍රස්තවාදී බෝඩ් ලෑලි ගැහුවත් අධ්‍යාපන අරගලය පෙරටම - රුහුණේ සියලු පීඨ සංගම් එකහෙළා කියති

     රාජපක්ෂ ආණ්ඩුව සිසු ඉල්ලීම්වලට ඇහුම්කන් නොදී සිසු ගැටලු නොවිසඳමින් අත්තනෝමතික පාලනයක් ගෙනයන බවත් සිසුන් ඉතා සාමකාමී අයුරින් අධ්‍යාපන පෞද්ගලීකරණයට හා අධ්‍යාපන සංහාරයට එරෙහිව පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණ හා පාගමන් වැළැක්වීමට සන්නද්ධ පොලීසිය හා හමුදාව යොදාගනිමින් එල්ල කළ ප්‍රජාතන්ත්‍රවිරෝධී ප්‍රහාරය හෙළා දකින බවත් රුහුණ සරසවියේ ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ පවසති.

      ජනවාරි 12 බ්‍රහස්පතින්දා කොළඹ නිපොන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුවට රුහුණ සරසවියේ සියලු පීඨයන් නියෝජනය කරමින් සිසු නියෝජිතයෝ සහභාගී වූහ.

එහිදී අදහස් පළකළ සිසු නියෝජිතයෝ මෙසේද පැවසූහ.

      "ආණ්ඩුව විසින් ගෙන ඒමට උත්සහ කරන පෞද්ගලික විශ්වවිද්‍යාල පනතටත්, විකෘති කරපු උසස්පෙළ විභාගය නැවත සමීක්‍ෂණය කර නිවැරදි ප‍්‍රතිඵල ලබාදෙන ලෙසත් හා සිසු මර්දනය වහා නවතන ලෙස රාජපක්‍ෂ ආණ්ඩුවට බලකරන්න තමයි ඊයේ දිනයේ අපි විසින් විරෝධතා පා ගමනක් සූදානම් කළේ. නමුත් ආණ්ඩුව නිල හා නොනිල මැරයන් යොදාගනිමින් සිසුන්ට කඳුලූ ගෑස් හා බැටන්පොලූ වලින් පහර දුන්නා. මේ වෙද්දි තිදෙනකු තවමත් කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. ඊට පසුව රජයේ නාලිකාවල රාත‍්‍රී ප‍්‍රවෘතිය වලින් අපිට එල්.ටී.ටී. ලේබල් ගහනවා. අපි සටන් කරන්නේ අපෙන් පස්සේ විශ්වවිද්‍යාලවලට එන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්. මේ රටේ දුක්විඳින අම්ම තාත්තගේ දරුවන් වෙනුවෙන්. අපි නම් කැම්පස් ඇවිල්ල ඉවරයි. අපේ උපාධිය නැතිවෙන්නෙ නෑ. නමුත් අපි ලබාගත්ත දේ ඊලඟ පරම්පරාවටත් උරුමකරල දෙන්නයි අපි මේ සටන් කරන්නේ.

      පොඩිකාලෙ අපිට මතකයි අපිව බයකරන්න උවමනා උනහමන් වැඩිහිටියෝ අපිට කියනවා බිල්ලන්ට දානවා කියල. ඒ වගේ විශ්වවිද්‍යාල සිසුනුත් ත‍්‍රස්තවාදීන් කියල අලුත් බිල්ලෙක් මවන්නයි මේ රජය උත්සහ කරන්නේ. රාජ්‍ය ත‍්‍රස්තවාදය වපුරලා සිසු ජීවිත බිලිගන්නයි මෙහෙම බිල්ලෙක්ව ආණ්ඩුව විසින් මවන්නේ. සිසුන් මර්දනය කරමින් ආණ්ඩුව උත්සහ කරන්නේ අතීතයේ සිදුවුණු ආකාරයට නැවතත් ධවල භීෂණයක් ගේන්නයි.

      අපට නිකරුනේ කැරළි ගහන්න උවමනාවක් නෑ. අපිට උවමනාකරන්නේ නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂා කරන්නයි. අපිට අයිතියක් තියෙනවා අපි ඉගනගත්ත නිදහස් අධ්‍යාපනය අනාගත නංගිලා මල්ලිලා වෙනුවෙන් ආරක්‍ෂා කරල දෙන්න. අපට මේ ලැබුනු බැටන්පොළු, කඳුළු ගෑස් ප‍්‍රහාර වලින් අපට රිදුනෙ නෑ. මොකද අපි සටන්කරන්නේ යහපත් අරමුණක් වෙනුවෙන් නිසා. මේකෙන් අපට හොඳින්ම පේනවා, රාජ්‍ය මර්දනය සාමාන්‍ය ජනතාව අතර කොතරම් ව්‍යාප්ත කරලාද කියලා. පාලකයන්ගේ ඔලමොට්ටල තීරණවලට එරෙහිව කරන සටනට මුහුණදීමට හැකියාවක් නොමැති නිසා ඔවුන් විසින් කරන මෙවැනි ආකාරයේ නිවට ක‍්‍රියා රටේ ජනතාව තරයේ හෙළාදකිනවා.

      ජනාධිපතිවරයා , ඇමතිවරයා මේ සෙල්ලම් කරන්නේ අනාගත පරපුරේ ජීවිතත් එක්ක. අපි ඔවුන්ට අවධාරනයෙන් කියනවා අපට ත‍්‍රස්තවාදී බෝඞ් ලෑලි ගහලා යටපත් කරන්න දරන උත්සාහය හමුවේ අපි පසුගාමී වෙන්නෙ නැහැ.

      අපි තව දුරටත් නිහඬව ඉන්න සූදානම් නෑ. දුක්විඳින අම්ම තාත්තගේ බලාපොරොත්තු වෙනුවෙන් අපේ රටේ පුංචි උන්ගේ විශ්වවිද්‍යාල හීනයන් සැබෑවක් කරගැනීම වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා එක්ව කොන්දේසි විරහිතව සටන්කරනවා."



     මෙම මාධ්‍ය හමුව සඳහා කෘෂි විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති යසිත් බුද්ධික, ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති අයේශ් රුවන්දෙනිය, කළමණාකරණ පීඨ ශිෂ්‍ය සංගමය වෙනුවෙන් හර්ශ ගුණවර්ධන, ශාස්ත‍්‍ර පීඨයේ පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති රුවන් ප‍්‍රියලාල්, වෛද්‍ය පීඨයේ පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති නිපුන සඳනුවන් යන මහත්වරුන් සහභාගී විය.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි