ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Monday, May 17, 2010

වෛද්‍ය උපාධිය මුදලට විකිණීමේ ජාවාරමක්

ලාංකික නිදහස් සෞඛ්‍යය ක්ෂේත‍්‍රය සහ නිදහස් අධ්‍යාපනය වලපල්ලට යවමින් ආරම්භ කළ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා අහෝසි කරන ලෙස ඉල්ලා අප ඇරඹූ අරගලය තවත් වැදගත් සංධිස්ථානයකට පැමිණ ඇත. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC)මගින් එම ආයතනයෙන් පිරිනමන වෛද්‍ය උපාධිය පිළිගත නොහැකි යයි දන්වා තිබියදීත් රජය තවමත් එම ආයතනය අහෝසි කිරීමට පියවර ගෙන නොමැත. මෙමඟින් ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත තව දුරටත් තහවුරු වේ. ඡන්දයට පෙර නිදහස් අධ්‍යාපනය සුරකින්නට ප‍්‍රතිඥ දුන් රජය දැන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පමණක් නොව මුදලට අධ්‍යාපනය විකුණන පෞද්ගලික විශ්වවිද්‍යාල පවා ආරම්භ කිරීමට උත්සාහ දරයි. මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අමතරව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඕඒසීස් (OASIS) රෝහල අනුබද්ධව ආරම්භ කිරීමට අවසර විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් මේ වන විට ලබා දී ඇත.

නව රජයේ උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක පළමු ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදීම පැවසුවේ පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹන බවයි. නිදහස් අධ්‍යාපන අයිතිය වනසාලමින් අහිංසක දුප්පත් දරුවන් උගතුන් වීම වළකාලමින් මේ ආණ්ඩුව අර අදින්නේ තමන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමට යොදාගත හැකි "එහෙයියන්"පිරිසක් බිහිකර ශ‍්‍රී ලංකාවේ උගත් පරපුර විනාශ කර තම ඇමති දූදරුවන් සහ ධනපති දූදරුවන්ට අඩු සුදුසුකම් මත උපාධිය විකුණා දැමීමටය. ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය නොව ආසියාවේ ඛේදවාචකය බවට අප රට පත්වීම කිසිවෙකුට නැවැත්විය නොහැකි වනු ඇත. අද වන විට විභාගයක් හෝ නිසි පරිදි පවත්වා ගත නොහැකි තරමට අසරණ තත්ත්වයකට පත්ව ඇති නිදහස් අධ්‍යාපන ක‍්‍රමය තව දුරටත් විනාශ කර එහි මළගම සනිටුහන් කිරීමට මේ ආණ්ඩුව උත්සාහ දරයි.

1994 න් පසු බලයට පැමිණි හැම ආණ්ඩුවක්ම අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන ක‍්‍රියාමාර්ග ගෙන ගියත් ඔවුන් ඒ බව ප‍්‍රසිද්ධියේ පිළිගත්තේ නැත. එවැනි කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කලේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති සමයේ පමණි. නමුත් දැන් රාජපක්ෂ ආණ්ඩුව ප‍්‍රසිද්ධියේම අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට උත්සාහ දැරීම ඉතිහාසයේ අවාසනාවන්ත සංධිස්ථානයකි. එම ක‍්‍රියාවට එරෙහිව එන ඕනෑම අභියෝගයකට මුහුණ දී මෙම නීච උත්සාහය පරාජය කිරීමේ හැකියාව අප සතුය.

තවද රටේ සෞඛ්‍යය ක්ෂේත‍්‍රය විශාල කඩා වැටීමකට ලක්ව ඇත. රටේ සෞඛ්‍යය ක්ෂේත‍්‍රය රඳා පවතින්නේ සාදක දෙකක් මතය. එනම් පළපුරුදු දක්ෂ වෘත්තිකයන් සහ නිවැරදි වෛද්‍ය උපකරණ, ඖෂධ මතය. අසරණ රෝගීන් මරු තුරුලට යවන සෞඛ්‍යය අමාත්‍යංශය රජයේ රෝහල්වලට අවශ්‍ය මූලික ඖෂධවත් ලබා දීමට අසමත්ව ඇත. රෝහල්වල සේලයින්, වෙළුම් පටි ආදී මූලික අවශ්‍යතා, ප‍්‍රතිජීවක වර්ග නොමැතිකමෙන් සාමාන්‍ය ප‍්‍රතිකාර පමණක් නොව හදිසි ශල්‍යකර්ම පවා සිදුකර ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇත. තව දුරයත් මේ රජය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරමින් සුදුසුකමට නොව මුදලට පමණක් බිහිවන, නිසි ලෙස පුහුණුව නොලැබූ වෛද්‍යවරුන් මගින් රෝගී ජීවිත බිල්ලට දීමෙන් රටේ නිදහස් සෞඛ්‍යය විනාශ කිරීමට උත්සාහ දරයි.

ශ‍්‍රී ලාංකික වෛද්‍ය ශිෂ්‍ය ප‍්‍රජාව ලෙස අපි නිදහස් අධ්‍යාපන අයිතිය, නිදහස් සෞඛ්‍යය සේවය ආරක්ෂා කිරීමට කැපවී සිටිමු. අතීත ජීවිත පරිත්‍යාගයන් තුළින් රැකදුන් මේ අයිතීන් කුමන ආකාරයේ කැපකිරීමක් සිදුකර හෝ මතු පරපුරට දිනා දීමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව ලෙස ලංකාවේ සියලූම වෛද්‍ය ශිෂ්‍යයන් එකමුතුව අරගල කරන්නෙමු. උගතුන්, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්,සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තිය සමිති ආදී මේ සියලූ බලවේගවල එකතුවෙන් අප නිදහස් අධ්‍යපනය සහ නිදහස් සෞඛ්‍යය ක්ෂේත‍්‍රය ආරක්ෂා කර ගැනීමේ අරගලය තවදුරටත් ඉදිරියට රැගෙන යන්නෙමු. රටේ අහිංසක දුප්පත් ජනතාවගේ දූදරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමට සහ රටේ නිදහස් සෞඛ්‍යය ක්ෂේත‍්‍රය ආරක්ෂා කිරීමට අප හා එක්වන ලෙස සමස්ත ජනතාවගෙන් ආයාචනා කරන්නෙමු.


අසංග වික‍්‍රමසිංහ,
කැඳවුම්කරු,
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව.

2 comments:

  1. සම සෞඛ්‍ය සිසුන් මුහුන පා සිටින සිය අධ්‍යයන කාලය වසරකින් කප්පාදු කිරීමේ අර්බුදය පිළිබද ඔබ කමිටුව දරන අදහස කුමක්ද ?

    ReplyDelete
  2. පාඨමාලා කප්පාදුවට අපිත් විරුද්ධයි. ඒ ආකාරයෙන් පාඨමාලාවල වෙනසක් සිදුකිරීමට අවශ්‍යනම් එය සිදුකල යුත්තේ ගැටලුවක් ඇත්නම් එය සොයාබලා ඒ වෙනුවෙන් පත්කරන ලද වි‍‍‍ශේෂ කණ්ඩායමක් මගින්. නමුත් UGC ය මගින් මෙම තීරනය ගෙන තිබෙන්නේ එක්තරා වෘත්තීය සමිතියක කීමකට අනුවයි. එමනිසා මෙය කිසිසේත් අනුමත කලහැකි ක්‍රියාවක් නොවේ.

    ඇතැම් පිරිස් සිතා සිටිනුයේ වෛද්‍ය සිසුන් ලෙස අපද මෙම සම සෙෘක්‍ය පාඨමාලාවලට විරුද්ධයි යන්නය. අධ්‍යාපනය මුදල්වලට විකිනීම වහා නතර කර නිදහස් අධ්‍යාපන ක්‍රමය සුරක්ශිත කරන ලෙස හඩනගන විට, එය විනාශකර පටු වාසි ලබාගැනීමට අවශ්‍ය කණ්ඩායම් කියාසිටිනුයේ, උසස් පෙල සමත්ව විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට නොහැකි පිරිසටද අවස්ථාවක් තිබිය යුතුයි යන්නයි. ඒ සදහා අප යෝජනා කරනුයේ පතින රජයේ විශ්ව විද්‍යාල පුලුල්කර බදවාගන්නා සිසුන් සංඛ්‍යාව වැඩිකරමින් හා නව පාඨමාලා ආරම්බ කරමින් සිසුන්ට තව තවත් අවස්ථාවන් වැඩිකරදෙන ලෙසයි. ඒ අනුව මෙම අතුරුවෛද්‍ය පාඨමාලාවට අප කිසිසේත් විරුද්ධ නොවේ.

    මෙම පාඨමාලාව ආරම්බ කලද මානව භෙෘතික හා වෙනත් විවිධාකාරයේ ගැටලු පවතින බව අපි දනිමු. නමුත් ඒ සදහා වගකිවයුතු පිරිස් එයට නිසිවිසදුමක් ලබාදීමට අපොහොසත්ව ඇත.

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි