ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Sunday, June 12, 2011

විශ්වවිද්‍යාල පනතේ හදිසි සංශෝධන වල ගුප්ත අරමුණ හෙළි කරනු !!!

     පහතින් දැක්වෙන්නේ මේවනවිට විශ්වවිද්‍යාල පනතේ සිදුකිරීමට යන හදිසි සංශෝධන සම්බන්ඳයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් නිකුත්කරඇති මාධ්‍ය නිවේදනයයි.

2011-06-10
ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂක/කර්තෘ,
මහත්මයාණනි,


විශ්වවිද්‍යාල පනතේ හදිසි සංශෝධන වල ගුප්ත අරමුණ හෙළි කරනු


      විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකත්වය 7 සිට 15 දක්වා ඉහළ දැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ප‍්‍රතිපාදන කොමිසම නීති මූල්‍ය තත්ත්ව සහතික, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන, තෘතීක අධ්‍යාපන, වෘත්තීය රාජ්‍ය හා පෞද්ගලික අංශ හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයද නියෝජනය වන පරිදි පුළුල් කරන බවත් එකී සංශෝධන හදිසි පනත් කෙටුම්පතක් ලෙස සළකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේදී කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප‍්‍රකාශ කර ඇත.

     එසේම විශ්වවිද්‍යාල පාලක සභා සාමාජික සංඛ්‍යාවද ඉහළ දමන බවද එහිදී ප‍්‍රකාශ කර තිබේ. උක්ත කැබිනට් තීරණ හා පැන නගින ප‍්‍රධාන ගැටලූ කීපයකි. එනම්


1. ප‍්‍රතිපාදන කොමිසමේත් විශ්වවිද්‍යාල පාලක සභා වලත් සාමාජිකත්වය  පුළුල් කිරීමේ හදිසි අවශ්‍යතාවය කුමක්ද?
 

2. මේ සඳහා වන පුළුල් සංවාදයකට ඉඩ නොතබා හිදිසි පනත් සංශෝධනයක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සැබෑ අරමුණ කුමක්ද?
 

3. මේ සඳහා වන නව සාමාජිකයන් තෝරාගන්නා ක‍්‍රමවේදය කුමක්ද?


      මීට පෙර අවස්ථා ගණනාවකදී ද මෙවැනි උත්සාහයන් දරා ඇති අතර එකී සෑම අවස්ථාවකදීම සිදුවූයේ මෙම ආයතන තම දේශපාලන හිතවතුන්ගෙන් පුරවාගැනීමත් හා සිය දේශපාලන න්‍යායපත‍්‍ර සරසවිය තුළ ක‍්‍රියාත්මක කිරීම සඳහා ශිෂ්‍ය මර්දනය සඳහා ඉඩකඩ විවර කර ගැනීමත්ය. එහෙත් ඒ කිසිඳු සංශෝධනයක් සිදු කර ගැනීමට සිසුන්ගෙන් හා ආචාර්යවරුන්ගෙන් එල්ල වූ විරෝධතා නිසා එකී ආණ්ඩු කිසිවකට නොහැකි විය.
 
     වත්මන් ආණ්ඩුවද ප‍්‍රතිපාදන කොමිසම හෝ විශ්වවිද්‍යාල පාලක සභා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් යොදාගෙන නැත.කර ඇති එකම කාර්යය වන්නේ ආර්යය වරුන් හා ශිෂ්‍යයින් මර්දනය කිරීම සඳහා අවශ්‍ය චක‍්‍රලේඛ හා රෙගුලාසි පැනවීමත් ඒ සඳහා වන තීන්දු තීරණ ගැනීමත් පමණි. කළ යුතුව ඇත්තේ තව තවත් දේශපාලන හෙන්චයින්ගෙන් මෙකී ආයතන පුරවා ගැනීම හරහා උසස් අධ්‍යාපන පරිපාලනය දූෂිත කිරීම නොව දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව ස්වාධීන ව්‍යුහයන් ලෙස ස්ථාපිත කිරීමයි.

     දැනට සිටින සාමාජිකයින්ට පවා අධ්‍යාපනයේ උන්නතිය සඳහා කිරීමට තරම් වැඩ කොටසක් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම තුළ වෙතැයි අපට ඇත්තේ විශාල සැකයකි. මන්දයත් කොමිසමේ සභාපතිවරයා නිතරම සිටින්නේ ආණ්ඩුවේ දේශපාලන වේදිකාවල හා රූපවාහිනී සාකච්ඡාවලය. ඒ අනුව මුදල් නාස්ති කරමින් තව තවත් සාමාජිකයින් බඳවා ගැනීම වෙනුවට අඩුම තරමේ සභාපතිවරයාගේ වැඩ ක‍්‍රියාවලිය හෝ විධිමත් කරන්නේ නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය යම් තරමකට හෝ වෙනස් කළ හැකියැයි අප සිතමු.

     මෙම කඩිමුඩිය තුළ ඇත්තේද මීට පෙර පැවති අරමුණුම බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙයද හදිසියේ ගෙන ආ පුද්ගලික අංශයේ සේවකයින් සඳහා වූ විශ‍්‍රාම වැටුප් පනත හා සමාන එකකි. ඇමතිවරයාගේ උක්ත ප‍්‍රකාශයේ සඳහන් වන ‘‘රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන’’ හා ‘‘රාජ්‍ය හා පෞද්ගලික’’ යන උදෘත වාක්‍ය ඛන්ඩ වලින්ද පෞද්ගලීකරණය සඳහා විශාල ඉඩකඩක් වෙන්කර ගැනීමේ උත්සාහයක් පවතින බවත්, මෙකී සංශෝධන වල මූලික හා එකම අරමුණ එය බවත් හඳුනා ගත හැකිය.

     ඒ නිසා ආණ්ඩුව මෙකී කඩි මුඩි සංශෝධන වල සැබෑ අරමුණ කුමක්ද යන්න රටට හෙළිදරව් කළ යුතු ය. මෙම අලුතින් බඳවා ගන්නා සමාජිකයින් ආණ්ඩුව කියන පරිධි පුද්ගලික විශ්වවිද්‍යාල නියෝජනය වන පරිධි බඳවා ගන්නේද, ඔවුන් බඳවා ගනු ලබන නිර්ණායක කවරේද, යන්න ප‍්‍රකාශ කළ යුතුය.

     එසේ නොවන්නේ නම් හා ආණ්ඩුව මෙකී සංශෝධන උක්ත ගුප්ත අරමුණු වෙනුවෙන් සිදු කරන්නේ නම් ඊට එරෙහිව සියලූ සරසවි සිසුන් අරගලයට අවතීර්ණ වන බවද අවධාරනය කර සිටිමු.


ස්තූතියි.
මෙයට,

සංජීව බණ්ඩාර,
 කැඳවුම්කරු, 
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය.


එම ලිපිය මෙතනින් ලබාගන්න - Click here...

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි