ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Monday, September 5, 2011

බාල පොල්, බාල සිමෙන්ති, බාල පෙට්‍රල් ගෙන්වූ ආණ්ඩුව බාල වෛද්‍යවරුත් හදන්න සැරසෙනවා - අ.වි.ශි.බ.ම.

     මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෛද්‍යවේදී සහ ශල්‍ය වෛද්‍යවේදී උපාධි පිරිනැමීම සඳහා ලබාදුන් නෛතික අවසරය රටේ නිදහස් අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කරන්නක් මෙන්ම රටේ වෛද්‍ය අධ්‍යාපනයේත් වෛද්‍ය වෘත්තියේත් ‍ගරුත්වය හෑල්ලුකරන අමනෝඥ ක්‍රියාවක් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසයි.

     03 සෙනසුරාදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු මේ බව අනාවරණය කළේය. එහිදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පසුගිය 30 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෙවත් දකුණු ආසියානු වෛද්‍ය හා තාක්ෂණික ආයතනට වෛද්‍ය උපාධි පිරිනැමීමේ නෛතික අවසරය ලබාදීම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ දැඩි විවේචනයට ලක්විය.

වැඩිදුරටත් අදහස් දක්වමින් සංජීව බණ්ඩාර මහතා මෙසේ ද පැවසීය,

     මේ ආණ්ඩුව රට ගැන හිතලා වැඩකරන ආණ්ඩුවක් නෙවෙයි. රටේ දරුවො ගැන හිතලා දරුවන්ගෙ අනාගතය ගැන හිතලා කටයුතු කරන තීන්දු තීරණ ගන්න ආණ්ඩුවක් නෙමෙයි. තමන්ගෙ බඩගෝස්තරය ගැන හිතලා තීන්දු ගන්න ආණ්ඩුවක්. තමන්ට ලැබෙන කොමිස් කුට්ටිය දිහා බලලා කටයුතු කරන, ලබාගන්න පුළුවන් පටු ලාභ කොටස දිහා බලලා තීන්දු තීරණ ගන්න විනාශකාරී ආණ්ඩුවක්. මීට පෙර මේ විදියට ගන්නා ලද තීන්දු තීරණවල විනාශකාරී ප‍්‍රතිවිපාක මේ රටේ අහිංසක මිනිස්සු භුක්ති විඳිමින් ඉන්න වෙලාවකත් ඒ කිසිවකින් පාඩම් ඉගෙන නොගන්නා ඔලමොට්ටල පාලකයො මේ රටේ වෛද්‍ය වෘත්තියත්, සෞඛ්‍ය සේවයත් හෑල්ලූවට ලක්කරන තීන්දුවක් මේ විදියට අරගෙන තියෙනවා. මෙම තීන්දුව පිළිබඳව අපගේ දැඩි පිළිකුල සේම බලවත් විරෝධයත් මේ මොහොතේ ප‍්‍රකාශ කර සිටිනවා.
     ඒ වගේම මේ ආණ්ඩුව දේශපේ‍්‍රමී කියලා කිව්වට ඇත්තටම දේශපේ‍්‍රමී ආණ්ඩුවක් නෙමෙයි. අධ්‍යාපනය විකුණන ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා තමයි මේ කි‍්‍රයාවට නගමින් තියෙන්නෙ. මීට පෙර පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයගේ කාලේ. යූ.ඇන්.පී ආණ්ඩුව තමයි පෞද්ගලීකරණය මන්තරයක් වගේ මතුර මතුර හිටියෙ. 2002 ඉදිරිපත් කරපු වික‍්‍රමසිංහ මහත්තයාගෙ "යළි පුබුදමු ශී‍්‍ර ලංකා" වැඩපිළිවෙල තුළ තමයි අධ්‍යාපන පෞද්ගලීකරණය ඉතා පැහැදිලි ලෙස සඳහන් වෙලා තිබුණේ. එතකොට එතුමට මේ ආණ්ඩුව කිව්වෙ දේශද්‍රෝහී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නගන දේශද්‍රෝහීයෙක් කියලා. නමුත් එහෙම කියපු රාජපක්‍ෂ ආණ්ඩුවත් දැන් ක‍්‍රියාත්මක කරමින් සිටින්නේ එකී ප‍්‍රතිපත්තිම තමයි. එතකොට හොර උපාධි කඩ දාන මේ ආණ්ඩුවට අපි කියන්න ඕන මොකක් කියලද? දේශපේ‍්‍රමී කියලද? මේ ආණ්ඩුව තවදුරටත් දේශපේ‍්‍රමී නැහැ. මේක දේශද්‍රෝහී, ජනතා විරෝධී ආණ්ඩුවක්.
     මේ තකතීරු තීන්දුව හරහා ආණ්ඩුවට මොන මොන ප‍්‍රතිලාභ ලැබුණත් ඇතිවන අවසාන ප‍්‍රතිඵලය තමයි මේ රටේ සෑම දරුවෙක්ටම උපාධියක් ලබාගැනීම සඳහා තිබුණු සමාන අයිතිය උල්ලංඝනය වෙන එක. නිදහස් අධ්‍යාපනය කියලා කියන්නෙ අධ්‍යාපනය සඳහා සියල්ලන්ටම සමාන අවස්ථා තහවුරු වෙලා තිබෙන තත්ත්වයකට. ආගම, කුලය, ජාතිය, ලිංගිකත්වය, මුදල් ඇතිකම හෝ නැතිකම නෙවෙයි අධ්‍යාපනය ලැබීමේ අයිතිය තීරණය කරන මූලික සාධකය වෙන්න ඕන. ඒක තීරණය වෙන්න ඕන උසස් පෙළ විභාගයෙන් ලබන සුදුසුකම මත. නමුත් මේ මාලඹේ උපාධි කඩයෙන් උපාධිය ලබාගැනීමේදී සළකා බැලෙන මූලික සුදුසුකම වෙන්නෙ අධ්‍යාපන සුදුසුකම නෙවෙයි, ලක්‍ෂ 65ක් වැයකරන්න පුළුවන්ද? බැරිද? කියන එකයි. ඒ අනුව ඉහළම සුදුසුකම් තිබුණත් වැඩක් නැහැ. ලක්ෂ 65ක් නැත්නම් විශ්වවිද්‍යාලයෙ දොර ඇරෙන්නෙ නැහැ. එතකොට මෙතනදි සල්ලි තියෙන අයට එක විදියකටත් නැති අයට තව විදියකටත් තමයි සලකන්නෙ. ඒත් අධ්‍යාපනයෙදි දෙන්නෙක්ට දෙවිධියකට සැලකීම කිසිසේත්ම අනුමත කරන්න පුළුවන්කමක් නැහැ.
     උදාහරණයක් ලෙස සිංහල ශිෂ්‍යයෙකුට වෛද්‍යවරයෙක් වෙන්න සාමාන්‍ය සාමාර්ථ තුනක් ප‍්‍රමාණවත් වෙද්දී දෙමළ හෝ මුස්ලිම් ශිෂ්‍යයෙකුට වෛද්‍යවරයෙක් වෙන්න 'ඒ' සාමාර්ථ තුනක් ඉල්ලනව නම් එම තත්ත්වය සාධාරණද? බෞද්ධ ශිෂ්‍යයෙක්ට විශ්වවිද්‍යාලයට ඇතුල්වෙන්න ඒ සාමාර්ථ තුනක් අවශ්‍ය වෙද්දි වෙනත් ආගමක ශිෂ්‍යයෙක්ට විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න සාමාන්‍ය සාමාර්ථ තුනක් ප‍්‍රමාණවත් නම් එම තත්ත්වය සාධාරණද? ශිෂ්‍යයෙක්ට සාමාන්‍ය සාමාර්ථ තුනකට උපාධියක් ලබාගන්න පුළුවන් වෙද්දි ශිෂ්‍යාවන්ට උපාධියක් ලබාගන්න 'ඒ' සාමාර්ථ තුනක් හෝ 'බී' සාමාර්ථ තුනක් ඉල්ලනව නම් එම තත්ත්වය කොහොමද අපි අනුමත කරන්නෙ. අපේ රටේ එවැනි අසාධාරණ තත්ත්වයක් නිර්මාණය වෙලා නැත්තේ නිදහස් අධ්‍යාපනය නිසා. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කළාට පස්සේ එක පැත්තක මේ රටේ ශිෂ්‍යයො 'ඒ' සාමාර්ථ තුනක් සහිතව විශ්වවිද්‍යාලයට ඇතුල්වෙන්න බැරිව දහස් ගණන් පෝලිම්වල ඉදිද්දි තවත් පැත්තක ලක්‍ෂ හැටපහක් තිබෙනව නම් 'එස්' සාමාර්ථ තුනකටත් උපාධි ලබාගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒක අපට සාධාරණයි කියල කියන්න පුළුවන්ද? නමුත් ආණ්ඩුව මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට උපාධි පිරිනැමීමේ අයිතිය ලබාදීම තුළින් නිර්මාණය වෙන්නෙ එවැනි තත්ත්වයක්. ඒ නිසා අපි මේ රටේ දෙමව්පියන්ගෙන් ඉල්ලනවා ඒ අසාධාරණය කරන්න මේ ආණ්ඩුවට තවදුරටත් ඉඩතියන්න එපා කියලා.
     අපි තවදුරටත් නිහඬව හිටියොත් මේ රටේ දරුවන්ට සිද්ධ වෙන්නෙ තමන්ගෙ අධ්‍යාපනය අතහැරලා මහපාරට වැටෙන්න. මේ ආණ්ඩුව මුලින්ම බාල පොල් ආනයනය කරලා මහජන මුදල් විනාශ කළා. ඊළඟට බාල පෙට‍්‍රල් ගෙනල්ලා රටේ සල්ලියි, ජනතාවගේ වාහනයි සියල්ල කාබාසිනියා කරල දැම්ම. ඊළඟට බාල සිමෙන්ති ගෙනල්ල ඒ හරහා මේ රටේ සියලූ ඉදිකිරීම්වල තත්ත්වය අවධානමට ඇදලා දැම්මා.
     එවැනි අමන තීරණ නිසා මේ රටේ මහජන මුදලූයි, ජනතාවගේ වාහනයි, දේපලයි සියල්ල විනාශ කරලා ජනතාව මහ පාරට වැටෙන තත්ත්වයට පත් කරපු ආණ්ඩුව දැන් මේ හදන්නෙ හොර උපාධි කඩ දාල, බාල වෛද්‍යවරු බිහිකරන්න, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයත් විනාශ මුඛයට ඇදලා දමන්න. මිනිස්සු ආර්ථික වශයෙන් පීඩාවෙන් පීඩාවට පත් කළා මදිවට භෞතික වශයෙනුත් රෝගීන් බවට පත්කරන්න. ඒ නිසා මේ උපාධි විකිණීමට ආණ්ඩු ගෙන ඇති තීන්දුව පරාජය කිරීම මේ රටේ සෑම සියලූ පුරවැසියෙකුගේම පරම වගකීමක් කියලා අපි හිතනවා. අපි අ.වි.ශි.බ.ම විදියට ඒ සටන මේ වන විටත් ආරම්භ කරලා තියෙනවා. මීට පෙර මේ හොර උපාධි කඩවලට එරෙහිව සටන් වැදුණෙ වෛද්‍ය ශිෂ්‍යයො විතරයි. නමුත් අද අපි සූදානම් ඒ සටනට සියලූ විශ්වවිද්‍යාල සිසුන් ඒකාබද්ධ කරන්න. එහි ආරම්භය සැප්තැම්බර් පළමු වැනිදා සිට සියලූ විශ්වවිද්‍යාල ඉදිරිපිට පැවැත්වනු ලබන උද්ඝෝෂණ මාලාවකින් ආරම්භ කරනවා. ඒ වගේම මුළු රට පුරාම විරෝධතා ගොඩනගන්න සියලූ පුරවැසියන් මේ සටනත් එක්ක ඒකාබද්ධ කරන්න කලින් අපි මේ ආණ්ඩුවට ඉතාමත් අවධාරණයෙන් යුතුව කියනවා මේ මුග්ධ තීන්දුව ඉවත් කරගන්න කියලා.

No comments:

Post a Comment

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි