ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Wednesday, March 30, 2011

ආණ්ඩුවේ ශිෂ්‍ය මර්දනයට එරෙහිව සියලු බලවේග එක්කරනවා - අ.වි.ශි.බ.ම

     ආණ්ඩුවේ මර්දනයට එරෙහිව සියලු ප්‍රජාව එක්කරගත් දැවැන්ත අරගලයකට එ‍ළඹෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි. එමෙන්ම වත්මන් උසස් අධ්‍යාපන ඇමතිවරයා කිසිසේත් උසස් අධ්‍යාපන ඇමති තනතුරට සුදුසු නොවන බවත්, ඔහුට ගැලපෙන්නේ කසිප්පු තිප්පොලක කැෂියර්කමක් බවත් අද (29) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසීය.

     සබරගමුව සරසවියේ මහා ශිෂ්‍ය සංගමය ඇතුළු සියලුම ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට විශ්වවිද්‍යාලයීය පරිපාලනය කටයුතු කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ දේශපාලන වුවමණාව මත ගත් තීරණයක් බවත් ඒ මහතා පෙන්වා දෙයි. ශිෂ්‍ය සංගම් කිසිදු නීති විරෝධී කටයුත්තක නිරත වී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පරිපාලනය විසින් නඟන චෝදනා සියල්ල අසත්‍ය බවද බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසයි.

     උපකුළපතිවරුන් කරන්නේ ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රය සරසවි තුළ ක්‍රියාත්මක කිරීම බවත් ඔවුන් දිගටම කළේ බොරු චෝදනා නගමින් ශිෂ්‍ය නායකයින්ගේ පංති තහනම් කිරීම සහ ශිෂ්‍ය සංගම් තහනම් කිරීම බවත් ඒ මහතා පෙන්වා දෙයි.

     සබරගමුව සරසවිය තුළ මුලින්ම ශිෂ්‍යයින් 58 දෙනෙකුගේ පංති තහනම් කළ බවත්, ඉන්පසු එම පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිසුන් උද්ඝෝෂණය කළ විට සරසවිය වසා දමා ප්‍රථම වසර සිසුන්ට පමණක් සරසවියට කැඳවා ඔවුන්ට බලපෑම් කරමින් ශිෂ්‍ය ක්‍රියාමාර්ග අඩපණ කිරීමට උත්සාහ දැරූ බවද මෙහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු විසින් පැහැදිලි කරන ලදී. එම උත්සාහයන් සියල්ල අසාර්ථක වීමෙන්පසු සරසවි පරිපාලනය විසින් ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට කටයුතු කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේය. මෙය ඉතා භයානක පියවරක් බවත්, ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාල පනතින් ලැබුණු නීත්‍යාණුකූල අයිතියක් උල්ලංඝනය කිරීම සරසවි සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරාගැනීමක් බවත් සංජීව බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසයි.

     1983 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේද මෙලෙස ශිෂ්‍ය සංගම්, වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ තහනම් කරමින් ආරම්භ කළ මර්දනය කෙළවර වූයේ දහස් ගණනකගේ ජීවිත අහිමිකරමින් බවද මෙයත් එවැනි ගමනක ආරම්භයක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය. එබැවින් ආණ්ඩුව විසින් ගෙනයන මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙලට එරෙහිව ජනතාව, වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන, ආගමික සංවිධාන සහ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට සහ මෙම අරගලයට ඔවුන් සම්බන්ධ කරගැනීම සඳහා කටයුතු කරන බවද හෙතෙම පැවසීය.මේ සම්බන්ධයෙන් ශිෂ්‍ය අයිතීන් උදුරාගැනීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, දෙස් විදෙස් මානව හිමිකම් ආයතන, තානාපති කාර්යාල සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කිරීමටත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කටයුතු කරන බවද සංජීව බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

2 comments:

  1. මේකේ උත්ප්‍රාසය තමයි සුමනරත්න බණ්ඩා මුල් කාලේ අවිශිබම නියෝජිතයෙක් වීමයි. ජපුර ශිෂ්‍ය සභාවේ සභාපති ද කොහෙද. ඒ පොර කොමිනිස් පක්‍ෂේ ඉන්න කාලේ මයෙ හිතේ.

    මේක බලන්න.
    http://www.lakbima.lk/archive/last_05_12_10/img/28.jpg

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි