ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Saturday, January 22, 2011

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය අනතුරේ.

     වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දුට අයත් "South Asian Institute of Technology & Management (SAITM)" නැමැති ආයතනය විසින් මාලෙඹි ප‍්‍රදේශයේ ඉදි කර ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ව්‍යාපාර කටයුතු මේවනවිට ආරමිබකර දැන් එහි 4 වන කණ්ඩායමේ සිසුන්ද බදවාගැනීමට සූදානමින් සිටී.

භාරකරුගේ ප‍්‍රතිඥාව, 

     ''ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජය'' නමින් හැඳින්වෙන අපගේ මාතෘභූමියේ භාරකරුවා ලෙස ජනතාව විසින් පත් කරනු ලබන කිසිම පාලකයකුට මේ රටේ අහිංසක ජනතාවගේ දූරුවන්ගේ නැණ ගුණ පහදන නිදහස් අධ්‍යාපනය මුදලට විකිණීමට හෝ ඉන් ලාබ ලැබීමට කිසිදු අයිතියක් නැති බව අපි දනිමු. ඒ බව හොඳින් තේරුම් ගෙන ජනතා කැමැත්තෙන් 2005 වසරේ දී බලයට පැමිණි වත්මන් ජනාධිපතිවරයා සිය මැතිවරණ පොරොන්දු ප‍්‍රකාශය ''මහින්ද චින්තනයේ'' ඒ බව අවධාරණය කර ඇත්තේ මෙසේය.

     ''නව සරසවි පාඨමාලා ආරම්භ කිරීම තුළින් සහ සරසවි පහසුකම් පුළුල් කිරීම තුළින් විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නෙමි''

     එමෙන්ම 2005 ජනාධිපතිවරණයේ දී තමන්ට ඡුන්දය දෙන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වෙත ඔහු යැවූ ලිපියේ මෙසේ ද සඳහන් වේ.

    ''සිවිල් සමාජයේ අනෙකුත් පුරවැසියන් හා සසන කල සරසවි ශිෂ්‍යයා යන්න වියුක්ත කොට තැබිය හැකි කුලකයක් නොවේ. නිදහසේ තම අධ්‍යාපනය කරගෙන යාමට අවැසි මානව හා භෞතික සම්පත් වල ඌණතාවය ඉතා පැහැදිළිව පෙනෙන්නට ඇති සත්‍යයකි''

   ''එමෙන්ම නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම පිළිබව අනියත බියක් ඔබ ඇති කර ගතයුතු නැත. නිදහස් අධ්‍යාපනයෙන් නිර්මාණය වූවකු වශයෙන් එවැනි සාහසික ක‍්‍රියාවන්ට මාගේ කිසිදු අනුමැතියක් හෝ සහයෝගයක් නොලැබෙනු ඇත'' 

     එහෙත් ඔහු හිතාමතාම එය අමතක කරමින් කටයුතු කරන බව අද ඔප්පු වෙමින් පවතී. වෛද්‍ය උපාධිය මුදලට විකිණීමේ ව්‍යාපාරයක් ඇරඹීමට ඔහු ඇතුළු ඔහුගේ ආණ්ඩුව පූර්ණ අවසරය ලබා දුන්නේ කැඹිනට් මණ්ඩලයේ අනුමැතියද සමඟිය. තමන් ජනතා හිතවාදී යැයි කියාගන්නා කිසිවෙකුට හෘද සාක්ෂියක් තිබේ නම්, විළි වසාගෙන සිටියදී නිදහස් අධ්‍යාපනය විකිණිය නොහැකිය.

     එබැවින්, ධනයට සහ බලයට ඇති කෑදර කමද, ඒ නිසාම ඇති වූ ආත්මාර්ථකාමී බවද ම`ගින් මෙහෙයෙවනු ලබන මෙරට පාලකයින් අද සිය ඇඳි වත උනා දමා නිර්වස්ත‍්‍රව සිටිමින් ලාංකේය ජනතාවගේ පරම අයිතියක් ලෙස සැළකෙන නිදහස් අධ්‍යාපනය මුදලට විකිණීමට පටන් ගෙන ඇත.

     විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම යටතේ මෙරට තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීට අවසර නොමැති හෙයින් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස, වෛද්‍ය උපාධිය විකුණමින් අධික ලාබ ලබන ව්‍යාපාරයක් ඇරඹීමට කූට ව්‍යාපාරිකයකුට ඉඩ දීමට ඔවුන් කටයුතු කළේ එබැවිනි.

දී කිරට බළල්ලූත් සාක්කිලූ, 

     ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ විරෝධය හමුවේ මොවුන් තවමත් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ ආණ්ඩුවේ බලය පාවිච්චි කරමිනි. මේ වන විට ඔවුහු ආණ්ඩු බලය හා රාජ්‍ය දේපල භාවිතා කරමින් වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දුගේ ව්‍යාපාරය සහා ප‍්‍රචාරය ලබා දෙමින් සිටිති.

     පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබව පාසල් සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් පෙළඹවීමේ වැඩපිළිවෙලක් ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ආරම්භ කර ඇති බව පසුගිය කාලයේ පුවත්පත් වල පවා වාර්තා විය. එක් එක් පළාත් වල මහ ඇමතිවරුන්ගේ මූලිකත්වයෙන් දිස්ත‍්‍රික් මට්ටමෙන් පවත්වන සම්මන්ත‍්‍රණ මාලාවක් ලෙස මෙය දියත් කිරීමට ඔවුන් කටයුතු යොදා තිබින.

     මෙහි මුල් පියවර ලෙස මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත ගම්පහ දිස්ති‍්‍රක්කයේ උසස් පෙළ හදාරන සිසුන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් පසුගිය ඔක්තෝබර් 29 වැනිදා සවස 3.00 ට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ප‍්‍රධාන ශාලාවේ දී සම්මන්ත‍්‍රණයක් පැවැත්විණි.

     ඒ සහා ගම්පහ දිස්ත‍්‍රික්කයේ සියලූ පාසල් වල උසස් පෙළ හදාරන සිසුන් සහභාගි කරවිය යුතු බව විදුහල්පති වරුන්ට දන්වා තිබිණි. සම්මන්ත‍්‍රණයට සිසුන් ගෙන්වාගෙන ඇත්තේ එය වෘත්තීය මාර්ගෝපදේශන වැඩමුළුවක් සහ උසස් පෙළ විෂයයන් පිළිබ`දව සම්මන්ත‍්‍රණයක් යැයි කියමිනි. 

     එහෙත් එය මුළුමනින්ම වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දුගේ ව්‍යාපාරික ආයතනයේ ප‍්‍රචාරක වැඩසටහනක් පමණක් වූ බව ඊට සහභාගි වූ පාසල් සිසුන්ගෙන් අපට දැන ගන්නට ලැබිණි. සම්මන්ත‍්‍රණයට සිසුන් පටවාගෙන ඒමට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් බස් රථ ලබා දී තිබිණි. එහෙත් සම්මන්ත‍්‍රණය අවසන් වූ පසුව සිසුන්ට මහ වැසි මැද ආපසු තම තමන්ගේ ප‍්‍රදේශ වලට යාමට සිදු වූයේ තමන්ගේම වියදමිනි. සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූයේ බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතාය. මහ ඇමතිවරයා විසින් වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දුගේ ව්‍යාපාරයේ ගුණ වර්ණනා කරමින් කථාවක් ද පවත්වා තිබේ. ජනතා ඡුන්දයෙන් පත් වූ ජනතා නියෝජිතයන් මෙලෙස කූට ව්‍යාපාරිකයින්ගේ සාක්කුවට වැටී තිබීම පිළිබව අපි කණගාටු වෙමු. මහ ඇමතිවරයා පිටව ගිය පසුව සිසු ඝෝෂා මධ්‍යයේ ප‍්‍රචාරක වැඩසටහන ඉදිරියට ගෙන යාමට වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු ඇතුළු ඔහුගේ ගෝල බාලයින් පිරිස දැඩි පරිශ‍්‍රමයක යෙදෙනු දක්නට ලැබිණි. සිසුන් බලාපොරොත්තු වූ දෙය නොලැබුණු බැවින් ඔවුන් සම්මන්ත‍්‍රණය කෙරෙහි අප‍්‍රසාදයෙන් යුතුව ඝෝෂා කරන්නටත්, හූ කියන්නටත් පටන් ගැනීම ගැන පුදුම විය යුතු නැත. 

     මෙහිදී මොවුන් ප‍්‍රකාශ කර සිටියේ තමන් මෙරට දරු පරපුරේ අනාගත ගැලවුම් කාරයන් බවයි. වෛද්‍ය උපාධිය ලබා දීමට රුපියල් ලක්ෂ 80 ක් අය කරන බව ප‍්‍රසිද්ධියේ නොකීම සහ මෙම ප‍්‍රචාරක වැඩසටහන පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය යටතේ පැවැත්වීම මඟින් සිසුන්ට මෙම ව්‍යාපාරික ආයතනය තමන්ගේ අනාගතය බාර ගැනීමට බලා සිටින ජනතා හිතවාදී රාජ්‍ය ආයතනයක් ලෙස ඒත්තු ගැන්වීමට මොවුහු උත්සාහ දරති. 

     වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මෙහිදී පවසා සිටියේ ඔවුන් ලබා දෙන ''MB'' නැමැති වෛද්‍ය උපාධිය ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය වෛද්‍ය පීඨ මගින් පිරිනමනු ලබන MBBS වෛද්‍ය උපාධියට වඩා ගුණාත්මක බවින් උසස් බවයි.

     එමෙන්ම මෙම  ''MB'' උපාධිය ලබා ගන්නා අයට රජයේ වෛද්‍ය පීඨ වලින් MBBS උපාධිය ලබා පිට වන වෛද්‍ය වරුන්ට වඩා ඉක්මනින් විශේෂඥ වෛද්‍ය වරුන් බවට පත් විය හැකි බවද ඔහු කියයි. මෙම ප‍්‍රකාශ වල සත්‍ය අසත්‍ය භාවය ඔබ විසින්ම තීරණය කරනු ඇතැයි සිතමු. මේ ගැන ඔහු සමහර තැන් වලදී මෙසේද උදම් අනයි.

"The SAITM medical students are smart and highly talented"

     මොහු මේ ලෙසින් නින්දා කරමින් සිටින්නේ උසස් පෙළ ඉහළම ළකුණු ලබා රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුල්වන අප වැනියවුන් නිදහස් අධ්‍යාපනයේ මහිමයෙන් ලබා ගන්නා ලොවම පිළිගත් වෛද්‍ය උපාධියටයි.

අපි තවදුරටත් බලා සිටිය යුතුද? 


     ලංකාවේ සිව් දෙසින් ඇති ගම් නියම්ගම් හා නගර වල සිට මෙහි පැමිණි, අහිංසක දෙමාපියන්ගේ අහිංසක දරුවන් වන අප අද දින මෙලෙස ලොවම පිළිගත් වෛද්‍ය උපාධියක් හදාරමින් සිටින්නේ නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නටය. අද මම පය ගසා සිටින මේ භූමියට ''අපගේ රාගම වෛද්‍ය පීඨය'' යැයි නොබියව ආමන්ත‍්‍රණය කිරීමට අපට අයිතියක් ලැබී ඇත්තේ එය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස මේ රටේ අහිංසක දුප්පත් දරුවන් සියල්ල අමතක කොට, අසාධාරණ ලෙස අතිශය ධනවත් පවුල් කීපයක දරුවන්ට පමණක් අධ්‍යාපනය ලබා දෙමින් තිබියදී ජනසතු කිරීමට ලේ, දහඩිය, කඳුළු හෙළීමෙන් පමණක් නොව ජීවිත පූජාවෙන් ද සටන් කළ අභීත විරු සිසුන් කළ පරිත්‍යාගය නිසාය. ඒ වෙනුවෙන් අපි ඔවුන්ට ණය ගැති වෙමු. ඒ බව අමතක කොට, ධනයට සහ බලයට කෑදර කළු කඩ කාරයින්ට අපගේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය බිළි ගැනීමට ඉඩ දී නිවටයින් සේ බලා සිටීම එවන් අභීත සිසු පරපුරක වත්මන් සාමාජිකයින් ලෙස අපට කිසිසේත්ම කළ නොහැක්කකි.

     තවත්  ''උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්'' බිහි වන තෙක් අපට බලා සිටිය නොහැක. අප දැනටමත් ප‍්‍රමාද වී ඇති බවක් දැනේ. මාළබේ උපාධි කඩය ආණ්ඩුවේ ආරක්ෂාව යටතේ මුල් අදිමින්, ස්ථාපිත වෙමින් පවතී. තව නොබෝ දිනකින් එවැනි වෛද්‍ය උපාධි විකුණන කඩ සාප්පු බුරුතු පිටින් ඉදි විය හැකිය.

     එබැවින්, අප ඉක්මන් විය යුතුය. මෙවැනි කූට ව්‍යාපාරිකයන්ගේ මන දොළ සංසිඳුවා ගැනීම වෙනුවෙන් මෙරට අහිංසක ජනතාව සතු නිදහස් අධ්‍යාපන අයිතිය විනාශ කිරීම වැළැක්වීමට නිදහස් අධ්‍යාපනයේ පහස වි`දින්නන් ලෙස අප තව තවත් ශකිතිමත්ව නැගී සිටිය යුතුය, එකාවන්ව පෙළ ගැසිය යුතුය.


නුවන් සමරසිංහ
වෛද්‍ය පීඨය
කැලණිය විශ්වවිද්‍යාලය



1 comment:

  1. මෙහි වෛද්‍ය උපාධිය ලැබීමට ලක්ශ 60ක් වැයවෙන නිසාත් ඒ කලත් අවසන ලංකාවේ රැකියාව කිරීමට වරම් ලැබෙන විභාගය ඉතා අමාරු වන නිසාත් මෙයට ආකර්ශනය වන පිරිස අඩුය...

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි