ශ්‍රී ලාංකීය වෛද්‍ය සිසුන්ගේ හඩ | Voice of the Sri lankans' medical students

Monday, November 8, 2010

මාධ්‍ය නිවේදනය - රජරට වෛද්‍ය පීඨය

​වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
​වෛද්‍ය පීඨය
රජරට විශ්ව විද්‍යාලය

සාලියපුර
අනුරාධපුරය

මාධ්‍ය නිවේදනයයි.


     2010.11.01 දින රාත්‍රී දෙරණ පෞද්ගලික  නාලිකාවේ විකාශය වූ 3600 වැඩසටහනට සහභාගී වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ රජරට වෛද්‍ය පීඨයේ ආපන ශාලාව තුළ ඉතා දරුණු ආකාරයට නවක වදය ක්‍රියාත්මක වන බවත්, උදේ - හවස නම් ලකුණු කරන බවත්, එයට සහභාගී නොවන අයට දරුණු වද හිංසා කරන බවත් ය. රජරට වෛද්‍ය ශිෂ්‍ය සංගමය ලෙස මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන අතර, නව ශිෂ්‍ය කණ්ඩායම පැමිණ මාසයක පමණ කාලයක් ගත වුවද මේ වනතෙක් එවැනි කිසිදු චෝදනාවක් එල්ල වී නොමැත.

     තවදුරටත් ඔහු පවසා සිටින්නේ කකුලක ආබාධයක් නිසා පීඨයට නොපැමිණ නිවසට ගොස් නැවත පැමිණි විට දරුණු වද හිංසාවන්ට ලක්කිරීම නිසා ඔහු වෙනත් පීඨයකට මාරු කිරීමට සිදුවූ බවය. මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන අතර, කකුලක ආබාධයක් ඇති ශිෂ්‍යයකුට වධ දීමට තරම් රජරට වෛද්‍ය ශිෂ්‍යයෙකු පහත් තත්ත්වයට වැටී නොමැති බැව් ප්‍රකාශ කර සිටින්නෙමු.

     අප පීඨයේ දැනට පාදයේ ආබාධයකින් පෙලෙනුයේ H.M.E.I. කුමාර සහෝදරයා වන අතර, ඔහුගේ පාදයේ ආබාධය මෝටර් රථ අනතුරකින් සිදු වූවක් වන අතර, ඔහු කිසිදු අවස්ථාවක මාරුවීමක් සම්බන්ධයෙන් පීඨයෙන් හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් කිසිම ඉල්ලීමක් කර නොමැත.

     අප දන්නා ආකාරයට කිසිම ලියාපදිංචි වූ ශිෂ්‍යයකු අප පීඨයෙන් මාරු වී ගොස් නොමැත. නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නම් කළ W.M.Y.S.K. අරඹේපොල නම් ශිෂ්‍යා ලියාපදිංචිය සඳහාවත් පැමිණ නැත. සභාපතිවරයා සඳහන් කරන්නේ ඔහු ගැන දැයි නොදනිමු.

     මේ සම්බන්ධයෙන් අප පීඨ ආචාර්ය මණ්ඩලය සමඟ ද සාකච්ඡා කල අතර, එවැනි මාරුවීමක් හෝ චෝදනාවක් මේ වන තෙක් ඔවුන් හට ලැබී නොමැති බවත් පීඨය හා ආචාර්ය මණ්ඩලය අපහසුතාවයට පත් කරමින් සිදු කරන මෙවැනි චෝදනා ඔවුන් ද තරයේ හෙලා දැක්කේ ය. (පීඨාධිපතිනිය 025-2234462)

     මෙම සාකච්ඡුාවේ දී තවදුරටත් ඔහු කියා සිටින්නේ 2005  A/L විභාගයේ දී උත්තර පත‍්‍ර ඇගයීම කරන යන්ත‍්‍රයේ දෝෂයක් නිසා වැඩිපුර සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන් 199 දෙනෙකු වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට රජරට වෛද්‍ය පීඨය ආරම්භ කල බවයි. යන්ත‍්‍රයේ දෝෂයක් නිසා ඇති වූ වරදින් පළමු ශිෂ්‍ය කණ්ඩායම වෛද්‍ය පීඨයට ඇතුළු වූ බවද එසේ නොමැති නම් ඔවුන්ට වෛද්‍ය පීඨයකට ඇතුලත් විය නොහැකි බවය. ශිෂ්‍යයන් යන්ත‍්‍රයට හඳුන්කූරු අල්ලා වැඳිය යුතු බවය. පිළිතුරු පත‍්‍ර ඇගයීමේ දී විභාග දෙපාර්තමේන්තුව සිදු කල වරද නිවැරදි කරමින් නව සමීක්ෂණය කල විට සුදුසුකම් ලැබුවේ නියම සුදුසුසන් මිස පිනට වෛද්‍ය පීඨයට ඇතුලත් වූවන් නොවන බව මොලේ කලදක් වුවද ඇති අයකුට තේරුම්ගත හැකි දෙයකි.

     රජරට වෛද්‍ය පීඨයේ කථා කල යුතු දහසක් ගැටළු තිබිය දී අප ඉතා අසීරු තත්ත්වයක පීඨය ඉදිරිපිට ගෙන යද්දී සිදුකරන පදනම් විරහිත මෙවැනි ප‍්‍රකාශන පිළිබඳව අපගේ බලවත් කණගාටුව ප‍්‍රකාශ කරමු.

     රජරට වෛද්‍ය පීඨයේ දේශන දෙසැම්බර් මස 12 වන දින ආරම්භ කිරීමට නියමිත අතර, එසේ වුවද සායනික දෙපාර්තමේන්තුවල දැනට ජ්‍යෙෂ්ඨ ආචාර්යවරු සිටිනුයේ Medicine, Gynecology & obstetrics වල පමණක් වන අතර මෙම තත්ත්වය යටතේ ඉතිරි විෂයයන් දෙක සඳහා දේශන පවා ආරම්භ කල නොහැකි වී ඇත.

     වෛද්‍ය සිසුන් සඳහා අවශ්‍ය සායනික පුහුණුව ලබන වසරේ මාර්තු අගවන විට ආරම්භ වීමට නියමිත වුවද ඒ සඳහා අවශ්‍ය ගොඩනැගිල්ල වත් මේ වන තෙක් සම්පූර්ණ කර නොමැත. එය නියමිත කාලයේ දී ආරම්භ කල නොහැකි බව සක්සුදක් සේ පැහැදිලිය.

     පළමු දෙවසර සඳහා ප‍්‍රායෝගික පරීක්ෂණ සිදුකරන විද්‍යාගාර ඇති ශාලාව පරණ ගුරු විද්‍යාල ගොඩනැගිල්ලක් වන අතර එහි දෙවන මහලේ විද්‍යාගාර 2ක් ඇති අතර, ඉංජිනේරු පර්යේෂණ ආයතන මඟින් උපදෙස් ලබාදී ඇත්තේ දෙවන මහල සඳහා සිසුන් ඇතුළත් නොකරන ලෙසත් යම් විටෙක ගොඩනැගිල්ල කඩාගෙන වැටිය හැකි බවත්ය.

     රජරට වෛද්‍ය පීඨය තුළ ශිෂ්‍ය කණ්ඩායම් 5ක් සිටිය ද දැනට පීඨය තුළ ඇත්තේ දේශනශාලා 3ක් පමණි. මෙම තත්ව යටතේ සිසුන් හට දේශන පැවැත්වීම සඳහා ශාලා හිඟය මහත්ව බලපායි. ශිෂ්‍ය කණ්ඩායම් 4ක් තිබිය දී මෙයට විකල්පයක් ලෙස භාවිතා කළේ අනුරාධපුර ජයන්ති විහාර දේශන ශාලාවයි.

     මෙවැනි දහසකුත් ප‍්‍රශ්න තිබිය දී සිසුන් සහ ආචාර්ය මණ්ඩලය ඉතා අවබෝධයකින් පීඨයේ ගැටළු නිරාකරණය කරගනිමින් ඉදිරි ගමනක් යමින් සිටිය දී අසත්‍ය ප‍්‍රකාශ කරමින් රජරට වෛද්‍ය ශිෂ්‍යයන් හා ආචාර්යවරුන් සමාජය තුළ අපහසුතාවයට පත් කිරීමට ගෙන යන වැඩපිළිවෙල තරයේ හෙලා දකින අතර, තව ද රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය දියාරු කරමින් විශ්වවිද්‍යාල සිසුන් ජනතාව ඉදිරියේ පහත් තත්වයට පත්කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමට ගෙන යන ක‍්‍රියාවලිය අප ශිෂ්‍ය සංගමය ලෙස හෙළා දකින්නෙමු.

2 comments:

  1. අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදක් නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්.............
    අසාධාරණයකට එරෙහි වීම වැරද්දක් සේ දකින,
    අසාධාරණය ඉදිරියේ නිවටුන් සේ සිටීමට බල කරන,
    මැරයින්ට අනුව රට පාලනය කරන සමාජයක් තුල,
    තිත්ත වූ ඇත්ත
    මෙසේ වූ බ්ලොග් එකකට කැටි කිරීමට නොහැකි වුවත් හැකි පමණින් කැටිකිරීමට දරන තැත අගය කොට සලකමු.....

    (ඩුමාංජරිය)

    ReplyDelete
  2. අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදක් නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්.............
    අසාධාරණයකට එරෙහි වීම වැරද්දක් සේ දකින,
    අසාධාරණය ඉදිරියේ නිවටුන් සේ සිටීමට බල කරන,
    මැරයින්ට අනුව රට පාලනය කරන සමාජයක් තුල,
    තිත්ත වූ ඇත්ත
    මෙසේ වූ බ්ලොග් එකකට කැටි කිරීමට නොහැකි වුවත් හැකි පමණින් කැටිකිරීමට දරන තැත අගය කොට සලකමු.....

    (ඩුමාංජරිය)

    ReplyDelete

Medical Book

වැඩියෙන්ම කියවූ ලිපි